April 23, 2024

කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන තැන ගැන අවුලක්

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥ එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව තිබේ.

ඒ , ඩී. එම්. කේ. පක්ෂය පිහිට වූ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, සී. එන්. අන්නාදුරෙයිගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරයේ ඉදිකර ඇති ස්මාරකය අසල කරුණානිධිගේ ස්මාරකය ද ඉදිකිරීමට අවසර දෙන ලෙස කරුණානිධිගේ පවුලේ සාමාජිකයින් කළ ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා ඇත්තේ, මරීනා වෙරළ තීරය වෙනුවට මහත්මා ගාන්ධිගේ ස්මාරකය ඉදිකර ඇති ස්ථානය සමීපයේ කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන ලෙසයි.

සී. එන්. අන්නාදුරෙයිගේ ස්මාරකයට අමතරව අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය පිහිටවු එම්. ජී. රාමචන්ද්‍රන් සහ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජේ. ජයලලිතාගේ සමරු ස්මාරකද ඉදිකර ඇත්තේ මරීනා වෙරළ තීරයේයි.

මේ අතර කරුනානිධිගේ ස්මාරකය  මරීනා වෙරළ තීරයේ ඉදි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඩී. එම්. කේ. පක්ෂය මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද පෙරවරු 8ට යළි සලකා බැලීමට නියමිත ය.

ඊට අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කළ තමිල්නාඩු ප්‍රාන්ත රජයට ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට පැය 7 ක කාලයක් ලබාදීමට අධිකරණය ඊයේ පියවර ගත්තේ ය.

පස්වරක් ම තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කරුණානිධිගේ ස්මාරකය ඉදිකිරීමට, මරීනා වෙරළ තීරයෙන් අඩි 6ක බිම් කොටසක් ලබාදීම ප්‍රතික්ෂේප කළ තමිල්නාඩු ප්‍රාන්ත රජය ,කොංග්‍රසය ඇතුළු පුද්ගලයන් රැසකගේ දැඩි විවේචනයට බඳුන් විය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි කරුණානිධිගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් සහ කොංග්‍රස් පක්ෂ නායකයා ද අද චෙන්නායි නුවර බලා යාමට නියමිතයි.

කරුණානිධිගේ අභාවය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

දේහය මේ වනවිට චෙන්නායි රාජාජි ශාලාවේ මහජන අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

මියයන විට 94 වන වියේ පසුවූ ඔහු කාලයක් පුරා රෝගාතුර වි සිටි අතර, පසුගිය 28 වන දා මුත්‍රා ආසාදනයක් සහ උණ රෝගය හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

Rate this item
(0 votes)