March 29, 2024

කහ පාටින් වැසුණු ව්‍යාඝ්‍රයන්ගේ ඉරණම

තායිලන්තයේ Wat Pha Luang Ta Bua Yanasampanno කියන නමින් නැත්නම් ව්‍යාඝ්‍රයන්ගේ පන්සල යනු ලෝකයේ අතිමහත් ප්‍රසිද්ධියට පත් වූ විහාරස්ථානයක් බව ඔබ සැම දන්නවා නො අනුමානයි. කන්චනාබුරි පළාතේ සායි යොක් දිස්ත්‍රික්කයේ පිහිටි මෙම විහාර ස්ථානය ආරම්‍භය වර්ෂ 1992 ට ඇදී යනවා. මෙය ආරණ්‍ය සේනාසනයක් ලෙස පිහිටා තිබුණු අතර මෙහි ව්‍යාඝ්‍රයන් හා අනිකුත් කැළෑ සතුන්ට ද නිවහන් බවට පත් වී තිබුණා.

වර්ෂ 1999 දී තමයි මේ පන්සල වෙත ප්‍රථම ව්‍යාඝ්‍ර පැටියා ලැබී තිබුණු බව සදහන් වෙන්නේ. ගම්වැසියන් විසින් අතරමං ව සිටිය දී සොයා ගන්නා මේ ව්‍යාඝ්‍ර පැටවා පන්සලට භාර දුන්නත් ඒ වන විටත් ඒ පැටියා මිය ගොස් තිබුණා. ඉන් පසු හමුවන සෑම කොටි පැටවෙකුම පන්සලට බාර දීමට ගම්වැසියන් කටයුතු කරේ ඒ ව්‍යාඝ්‍ර පැටව් හට ආරක්ෂිතම නිවහන මේ පන්සල ලෙසි සිතු නිසාය. 2016 වසර වන විට මෙහි ව්‍යාඝ්‍රයන් 150 දෙනෙකුටම පන්සලේ අක්කර 60කින් යුක්ත භූමියේ අක්කර 5ක් පුරාවටම සෙවණ සැලසු බව සදහන් වෙනවා. මෙහි සිටි ව්‍යාඝ්‍රයන් අතර බෙංගාල, ඉන්දුචයිනිස් හා මලයාන් ව්‍යාඝ්‍රයන් අයත් වුණා.

මේ පන්සල කාලයත් සමග මේ තාක් විශාල ව්‍යාඝ්‍රයන් පිරිසක් එකට සිටි නිසාත්, මේ ව්‍යාඝ්‍රයන්ගේ නිවහන පන්සලක් වු නිසාත් එහි වැඩ සිටි ස්වාමින් වහන්සේලා සමග මේ ව්‍යාඝ්‍රයන්ගේ කුළුපගු බව නිසාත් බොහෝ සංචාරයකයන්ගේ දැඩි අවධානය මේ පන්සල වෙත ලැබී තිබුණා. මේ නිසාම ව්‍යාඝ්‍රයන් බැලීමට පන්සලට පැමිණෙන සංචාරකයන් අරබයා විවිධ වු ව්‍යාඝ්‍ර සංදර්ශන පවා මෙහි පැවැත් වුණා, මේ නිසාම මේ පන්සල ගැන බොහෝ සත්ත්ව සංවිධානයන් හා රාජ්‍ය වනජීවි නිලධාරීන් මේ පන්සල ගැන අවධානයෙන් පසු වුණා. බොහෝ දෙනා මේ පින්වන්නත වැඩේ වෙනුවෙන් විශාල ලෙස ස්තූතිය පුද කළ අතර පන්සලට ආධාර උපකාර පවා ලබා දෙනු ලැබුවා. කාලයත් සමග එලෙස සංචාරකයන් නිසාම ව්‍යාඝ්‍රයන්ගේ පන්සල ප්‍රසිද්ධියට පත් වෙනවා.  

2016 වසරේ මැයි 30 වැනිදා සදුදා දිනයේ උදෑසන තායිලන්ත ජාතික උද්‍යාන, වනජීවි හා ශාක සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ (DNP) 500ක පමණ පිරිසක් ව්‍යාඝ්‍රයන්ගේ පන්සලේ ඉදිරිපස ඇතුළ් වීමේ දොරටුව අභියසට වී බලා සිටියේ දැවැන්ත කටයුත්තකට සුදානම් වෙමින්. ඉන් සමහර නිලධාරීන් සතුව නිර්වින්දන අවි ද තිබුණා. මේ පිරිස අතර වනජීවි වෛද්‍යවරුන් ද සිටියා. ඒ මෙන්ම රාජ්‍ය නොවන සත්ත්ව සංවිධානත් ඒ අතර සිටියා. ඔවුන් සුදානම් වී සිටියේ තායිලන්තයේ සිදු වු විශාලතම සත්ත්ව හිංසාවක් වැළැකීමේ අරමුණ ඇතිවයි.

හදිසි වැටලීමක් ක්‍රියාත්මක වුණා. වැටලීමේ දී ව්‍යාඝ්‍රයන්ගේ පන්සල සම්පුර්ණ සෝදිසි කිරීමකට ලක් කළ අතර එහිදි ශිතකර තබා තිබූ මියගිය කුඩා ව්‍යාඝ්‍ර පැටව් විශාල පිරිසකගේ මළ සිරුරු සොයා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වෙනවා.  පන්සලේ සිටි ව්‍යාඝ්‍රයන් 147 දෙනෙකු තමන්ගේ බාරයට ගන්නට වනජීවි නිළධාරීන් කටයුතු කරන අතර මිය ගිය කුඩා ව්‍යාඝ පැටව් 40කගේ පමණ සිරුරු සොයා ගැනීමටද ඔවුන් සමත් වෙනවා. මීට අමතරව රසායනික ද්‍රවාණයක බහලා බෝතල්වල දමා තිබුණු තවත් ව්‍යාඝ්‍ර පැටව් 20 දෙනෙකුගේ පමණ සිරුරුද සොයා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙනවා. මේ මිය ගිය පැටව් අතර තවත් වැඩිහිටි පැටව් 2 දෙදෙනෙකුගේ සිරුරුද වළසෙකුගේ ශරීරයක් ද තිබුණා. තවද ව්‍යාඝ්‍ර සමෙන් සාදන ලද යන්ත්‍ර 1500ක් ද, ව්‍යාඝ්‍ර දත් වලින් සාදන ලද පළදනා ද මෙහි තිබිය දී ඔවුන් ට සොයා ගැනීමට හැකියාව ලැබී තිබුණා.

“ඔවුන් මේවා එයාලාට සල්ලි දෙන අය වෙනුවෙන් දීලා තිබ්බා” යැයි DNP හී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබුණා. “ තවත් එහෙම කරන්න හම්බ වෙන්නේ නෑ” යැයි ඔහු තව දුරටත් ප්‍රකාශ කර තිබුණා. ඒ ලෝක ප්‍රසිද්ධියට පත් ව්‍යාඝ්‍රයන්ගේ පන්සලට සදාකාලිකවම මුද්‍ර තබමිනි.

තායිලන්තයේ නීතිය හැටියට එරට වාසය කරන සියලු ව්‍යාඝ්‍රයන් අයිති වන්නේ එරට රජයටයි. කිසිදු පෞද්ගලික හිමිකරුවෙකුට ව්‍යාඝ්‍රයන් තබා ගැනීම තහනම් කොට තිබුණා. නමුත් පන්සලට ඇති ගෞරවය හා ප්‍රසිද්ධිය නිසාම තායි රජය විසින් මේ සිදුවීම ගැන සොයා බලා තිබුණේ නෑ. ඒ වගේ ම පන්සලට සත්ත්ව උද්‍යානයක් පවත්වා ගෙන යාම සදහා බලපත්‍රයක් ද තිබු නිසා නීතියටද කොළය වසමින් මේ සත්ත්වයන්ට විරුද්ධව හිංසාව ක්‍රියාත්මක වෙමින් තිබුණා. මෙහි ස්වේඡා සේවකයකු ලෙස සේවය කළ ජූලියන් පාකර් මෙහි සැබෑව හෙළි කර තිබුණා.

“අපි කාරුත්ම ව්‍යාඝ්‍රයන් රදවා තිබු තැනට යන්න කැමැති වුණේ නෑ... ඒත් සංචාරකයන් වෙනුවෙන් අපිට විශේෂයක් කරන්නට සිදු වුණා...” යැයි ජූලියන් පාකර් පවසා තිබුණා. සංචාරකයන් ඇති අවස්ථාවල පමණක් හිලෑ ව්‍යාඝ්‍රයන්ට නිදහසේ ඇවිදින්නට ඉඩ සලසා දී තිබූ අතර සංචාරකයන් නැති වෙලාවට මේ ව්‍යාඝ්‍රයන්ව දම්වැල් දමා සිරකූඩුවලට දමා තිබුණා. 
මේ පන්සල තුළ ව්‍යාඝ්‍රයන් හට යම්කිසි වදහිංසාවක් හෝ යම් අනතුරක් වෙනවා යැයි ලෙස මුලින්ම සැක පහළ වන්නේ 2014 වසරේ දෙසැම්බර් 25 වැනිදා විදෙස් ස්වේඡා සත්ත්ව ආරක්ෂකයන් නත්තල් නිවාඩු ලබා ගෙන පිටත්ව ගොස්ව තිබිය දී පන්සලට ඇතුළු වන පිරිසක් විසින් වැඩිහිටි කොටියන් තිදෙනෙකු පැහැරගෙන යාම ආරක්ෂිත කැමරාවකට සටහන් වී තිබීමත් සමගයි. 
ඉන් අනතුරුව වසර 2ක් පුරාවට රාජ්‍ය නොවන සංවිධානයන් හා වනජීවි අංශයද, සංචාරකයන්ගෙන් ලැබුණු හෝඩුවාවන් මත පරික්ෂණ සිදුකරමින් 2016 මැයි මාසයේ 30 වැනිදා මේ වැටලීම සිදු කරනු ලැබුවා. මේ ස්ථානයේ දී ව්‍යාඝ්‍රයන් බෝ කර ලාඕස්, චීනය වැනි රටවලට අලෙවි කර ඇති බවද ඔවුන් අනාවරණය කරගනු ලබනවා. සත්ත්වයන් වෙ‍ළෙද කටයුතු වැනි දේවල් මුලික කරගෙන එලෙස බෝ කිරීම වරදක් බව සදහන් වෙනවා.

බොහෝ දෙනා මේ ස්ථානය තුළ සැබෑ ලෙසම හොද දෙයක් සිදුවන බව සිතුවත් එහෙම නොවන බව බොහෝ මාධ්‍ය වාර්තා කර ඇති විස්තර දිහා බලන ඕනෑම කෙනෙකුට සිතා ගත හැකි දෙයකි. පන්සල ආරම්භයේ දී තිබූ ව්‍යාඝ්‍රයන් වෙනුවෙන් සහ අනිකුත් සත්තු වෙනුවෙන් තිබූ මෛත්‍රී සහගත බව, මුදල් හා ප්‍රසිද්ධිය හමුවේ ව්‍යාපාරයක් බවට පත් වුණා. කාලයක් තිස්සේ ජයටම කෙරීගෙන ගිය මේ ව්‍යාපාරය වැසී ගියේ සැබැවින්ම සතුන් ගැන සිතනා පිරිසක් මේ වැඩේ ට විරුද්ධ වු නිසාය.
මේ ස්ථානයේ රාජකාරී කළ බොහෝ දෙනෙක් මේ සත්ත්ව හිංසා චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔවුන් කියා සිටින්නේ තායිලන්නතය පුරා මෙවැනි සත්ත්ව හිංසා සංවිධාන ගතව සිදුවන බවත් ඒවාට විරුද්ධ නොවී තමන්ගේ දෙයට පමණක් විරුද්ධ වන බවද තායි රජයට චෝදනා කරමිනි.

කොහොම වුණත් බුද්ධ දර්ශනය තුළ තිබූ කිසිවක් මේ පන්සල තුළ ක්‍රියාත්මක වුණාද යන්න දන්නේ එදා එහි සැබෑව දුටු පුද්ගලයන් පමණි.

Rate this item
(0 votes)