April 19, 2024

තායි ගුහාවේ සිරවූ දරුවන් පාපන්දු ක්‍රීඩාකරමින් මාධ්‍ය හමුවට ඇවිත්

තායිලන්තයේ ගුහා සංකීර්ණයක සිරවී සිට බේරාගැනුණු දරුවන් 12දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යමින් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත.

වයිල්ඩ් බෝර්ස් කණිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ එම දරුවන් පිරිස සිනහමුසු මුහුණින්, පාපන්දු ක්‍රීඩා කරමින් මාධ්‍ය ඉදිරියට පැමිණි බව විදෙස් වාර්තා පවසයි.

දරුවන් පිරිස වයිල්ඩ් බෝර්ස් අනන්‍යතාව දැක්වෙන පාපන්දු ඇඳුමින් සැරසී සිටි අතර, ඔවුන් සමග මේ දැවැන්ත මෙහෙයුමේදී ඔවුන් බේරාගත් නේවි සීල් භටයන් පිරිසක්ද එක්ව සිටියහ.

එහිදී, මෙම මෙහෙයුමේදී ඔවුන් බේරාගැනුණු ආකාරය මාධ්‍ය හමුවේ විස්තර කිරීමටද මෙම දරුවන් ක්‍රියා කළහ.

චියැන්ග් රායි පළාත් ආණ්ඩුකාර ප්‍රාචෝන් ප්‍රට්සුකාන් පවසා සිටියේ මෙය මෙම දරුවන්ගේ එකම නිල මාධ්‍ය හමුව වනු ඇති බවයි.

මින් අනතුරුව ඔවුන් යළිත් කිසිම අවස්ථාවක මාධ්‍ය හමුවේ අදහස් නොදක්වනු ඇති බවද හෙතෙම අවධාරණය කරයි.

මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව ඔවුන් තමන්ගේ නිවෙස් වෙත ගමන් කරනු ඇති බව කියැවෙයි.

සති දෙකකට වැඩි කාලයක් තාම් ලුආන්ග් ගුහා සංකීර්ණයේ සිරවී සිට බේරාගැනුණු ඔවුන් චියැන්ග් රායි රෝහලේද සතියකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබීය.

Rate this item
(0 votes)