March 29, 2024

නවාස් ෂරීෆ් අත්අඩංගුවට

බලයෙන් පහ කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් පෙරේදා  (13) ලාහෝර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි. 

එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා වලට වරදකරු කරමින් පාකිස්තාන අධිකරණයක් ඉකුත් දා හිටපු අගමැතිවරයාට වසර දහයක සිර දඬුවමක් නියම කළේය.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ලන්ඩනයේ සිට පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී පෙරේදා  (13) රාත්‍රීයේ හිටපු අගමැතිවරයා සමඟ ඔහුගේ දියණිය ද අත්අඩංගුවට පත්වූහ. 

නවාස් ෂරීෆ්ට සහාය දක්වන පාක්ෂිකයන්ගේ විරෝධතා නැවැත්වීම සඳහා ආරක්ෂක අංශ නගරයේ ස්ථාන කිහිපයක ස්ථාන ගත කිරීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර තිබිණි. 

පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර නවාස් ෂරීෆ්ගේ පැමිණීමත් සමඟ මැතිවරණය තවත් උණුසුම් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. 

හිටපු අගමැතිවරයාට සිරදඬුවම් නියම වීම ඔහු නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය-එන්’ පක්ෂයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. 

නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සමඟ ප්‍රබල තරගයකට මුහුණ දී සිටී. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාකිස්තානයේ ආරක්ෂක අංශවල සහාය හිමිවන බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ අතර නවාස් ෂරීෆ් අපරාධකරුවකු යැයි ද ඔහුට කිසිදු සහායක් හිමි නොවිය යුතු යැයි ද ඉම්රාන් ඛාන් අවධාරණය කරයි. 

Rate this item
(0 votes)