April 20, 2024

ට්‍රම්ප් හා පූටින් සාකච්ඡා ජූලි 16

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර සුවිශේෂී හමුවක් ජූලි මස 16දා, පින්ලන්තයේ, හෙල්සින්කි අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රබල රාජ්‍ය නායක දෙපළ පින්ලන්තයේදී මුණගැසී දෙරට අතර ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු මෙන්ම, දෙරටේ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

රුසියාව හා බටහිර ජාතීන් අතර සබඳතා බිඳවැටී ඇති පරිසරයක ඇමෙරිකානු හා රුසියානු නායකයන් අතර මෙම මුහුණට මුහුණ සාකච්ඡාව සිදුවීමද වඩාත් කතාබහට ලක්වූවකි.

මේ අතර නේටෝ සංවිධානයේ ප්‍රධානියා මෙම හමුව අගයමින් පවසා ඇත්තේ මෙය සුවිශේෂී කතාබහක් වනු ඇති බවයි.

ලෝකයට තවත් සීතල යුද්ධයක් අවශ්‍ය නොමැති බව පවසන ඔහු, රුසියාව හුදෙකලා කිරීමටද ඔවුන්ට අවශ්‍යතාවක් නොමැති බවද අවධාරණය කරයි.

නේටෝ ප්‍රධානී ජීන්ස් ස්ටෝල්ටන්බර්ග් අවධාරණය කරන්නේ රුසියාව සමග වඩාත් හොඳ සබඳතාවක් ඇති කරගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය යුතු බවයි.

බෙල්ජියමේ පැවැත්වෙන නේටෝ හමුවෙන් පසුව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පින්ලන්තයේ හෙල්සින්කි වෙත පැමිණීමට නියමිතව තිබේ.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, රුසියාවේ සංචාරයක නිරත වෙමින් ජනපති පූටින් හමුවී මෙම සාකච්ඡාව සඳහා මඟ සලසා ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)