April 20, 2024

නවසීලන්ත අගමැතිනී දරු ප්‍රසූතිය සිදු කරයි

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් (Jacinda Ardern) ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදුකර තිබේ.

මේ සමඟ අගමැතිධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් ඕක්ලන්ඩ් නගරයේ රෝහලකදී  කිලෝ 3.31 ක් බරැති දියණියක් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අගමැති ධුරයේ සිටියදි දරුවකු බිහිකළ ලොව දෙවන කාන්තාව ලෙස 37 වියැති ජසින්ඩා ආඩෙන් ඉතිහාසයට එක්විය.

දරු ප්‍රසූතියෙන් පසුව අගමැතිවරිය සති හයක කාලයක් ප්‍රසූත නිවාඩු ලබා ගැනිමට නියමිතව ඇති අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ට අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි පවරා තිබේ.

කෙසේ නමුත්, ප්‍රසූත නිවාඩු සමයෙදීත් තමන් කැබිනට් පත්‍රිකා පරීක්ෂා කරමින් දිගටම මූලිකත්වය ගෙන කටයුතු කරන බව ඇය පවසයි.

ජසින්ඩා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද්දේ ඔක්තෝබර් මාසයේදී වන අතර ඇය ඇගේ සහකරු ක්ලාර්ක් ගෙෆොර්ඩ් දරුවෙක් අපේක්ෂාවෙන් පසුවන බව ජනවාරි මාසයේදී නිවේදනය කළේය.

සිය ධූරය දරමින් සිටියදී දරුවෙකු ප්‍රසූත කළ පළමු නායිකාව වීමේ ගෞරවය හිමිවන්නේ පාකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනසීර් භූතෝ හටයි.

බෙනාසීර් සිය දියණියට උපත දුන්නේ 1990 වර්ෂයේදී වන අතර ඒ අනුව නවසීලන්ත අගමැතිනියගේ මෙම දරු ප්‍රසූතිය වාර්තාවන්නේ ඉන් දශක තුනකට ආසන්න කාලයකදී වීම විශේෂත්වයක්.

බෙනාසීර් හට සිය දරු ප්‍රසූතිය නිසා පාකිස්ථාන ජන සමාජයෙන් දැඩි විවේචන එල්ල විය.

කෙසේ වෙතත් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන්ගේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව ඇයට නවසීලන්ත ජන සමාජයෙන් හා ලෝකයෙන් හිමි වූ පිළිගැනිම සාක්ෂි සපයයි.

අගමැති තනතුර සඳහා 1856 න් පසුව නවසීලන්තය තෝරා පත්කරගත් ලාබාලතම පුද්ගලයා වන්නේද ජසින්ඩා ආඩෙන් බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Rate this item
(0 votes)