April 20, 2024

රාමසාන් සමරමින් සිටි තලේබාන් සහ ඇෆ්ගන් වැසියන්ට බෝම්බ ප්‍රහාරයක්

රාමසාන් සමරමින් සිටි තලෙයිබාන් සාමාජිකයින් සහ ඇෆ්ගන් වැසියන් ඉලක්ක කර එල්ල වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊට, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම තලෙයිබාන් සාමාජිකයින් ද ඇතුළත් වේ.

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ, රාමසාන් උත්සවය වෙනුවෙන් ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් සංවිධානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකදීයි.

නන්ගහාර් පළාතේ ජලාලාබාද් ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 54 දෙනෙකු තුවාල ලැබීය.

නිරායුධ තලෙයිබාන් සාමාජිකයින් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට රැස් ව රාමසාන් උත්සවය සමරනු ලැබුවේ ඇෆ්ගන් වැසියන්ගේ හදවත් තුළ සාමය පිළිබඳ නව අපේක්ෂා දල්වමිනි.

ඇතැම් තලෙයිබාන් සාමාජිකයින් නර්තනයේ යෙදෙමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් රාමසාන් උත්සවය සමරන අයුරු ද කැමරා කාචවල සටහන් විය.

ඔවුන් සිය නෑ හිත මිතුරන් හමුවී රාමසාන් සමරන අවස්ථාවක එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමග ඇෆ්ගන් වැසියන්ගේ හදවත් තුළට යළි යුධ භීතිය දැනෙන්නට පටන් ගත් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරයේ වගකීම, අයි එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.

ප්‍රහාර එල්ල වී පැය කිහිපයකට පසු ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගහානි ජාතිය අමතමින් සඳහන් කළේ, තලෙයිබාන් සංවිධානය සමග ඇතිකරගත් සටන් විරාමය දීර්ඝ කරන බවයි.

Rate this item
(0 votes)