April 19, 2024

කිම් ජොන්ග්ට ආරාධනා කරන හැටි ට්‍රම්ප් කියයි

සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත සමුළුව සාර්ථක අන්දමින් සිදු වුවහොත් තමා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්ට අමෙරිකාවට පැමිණීම සඳහා ඇරයුම් කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජපාන අගමැති ෂින්සෝ අබේ සමඟ පැවති සාකච්චාවකින් අනතුරුවයි.

සිංගප්පූරුවේ පැවැත්වෙන සමුළුවේදී කොරියානු යුද්ධය අවසන් කිරීමේ එකඟතාවයකට පැමිණීමේ හැකියාව ඇතැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා විශ්වාසය පළකරයි.

එක්සත් ජනපදයට සහ එහි මිත්‍ර රාජ්‍යයන්ට අවශ්‍ය වී ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුධ අත්හරිනු දැකීමයි.

සිංගප්පූරුවේ පැවැත්වෙන සමුළුව එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වන එක් හමුවක් වන බවත් අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

මේ අතර අදාළ හමුව සඳහා වන න්‍යාය පත්‍රයට මානව හිමිකම් සම්බන්ධව වැඩි ඉඩක් වෙන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු විශේෂ නියෝජිතයෙක් පවසයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධ වැඩපිළිවෙල සඳහා එය රුකුලක් වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර ලොව පුරා මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක්වන රාජ්‍ය නායකයින් දෙදෙනෙකුගේ හමුව පිළිගැනිම සඳහා සිංගප්පූරුව සූදානම් වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යෝජිත හමුව, සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා දිවයිනේ පිහිටි හෝටලයකදී සිදුවන බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.

මෙම ඓතිහාසික හමුව ජුනි 12 වෙනිදා පැවැත්වීමට නියමිත නමුත් මේ දක්වා බොහෝ තොරතුරු තහවුරු කර නැහැ.

හෙක්ටෙයාර 500 ක් පමණ විශාල සෙන්ටෝසා සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63 කින් එකක්. 

සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත සෙන්ටෝසා ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ.

එසේම, මුහුදු මංකොල්ලකරුවන් මෙන්ම ලේ වැගිරීම් හා යුද පිළිබඳ අඳුරු අතීතයක් ද එම දූපත හා බැඳී පවතියි.

Rate this item
(0 votes)