April 20, 2024

මාධ්‍යවේදියෙකු ඝාතනය වු බවට ප්‍රචාරය කළ සැබෑ හේතුව හෙළිවෙයි

රුසියානු ජාතික මාධ්‍යවේදියෙකු යුක්‍රේනයේදී ඝාතනය වූ බවට ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම පිළිබඳව යුක්‍රේනය අන්තර්ජාතික සංවිධානවල විවේචනයට ලක්ව තිබේ.

පෙරේදා දින යුක්‍රේනයේ කීව් ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී අදාළ මාධ්‍යවේදියා හට වෙඩි වැදී ඇති බව හා පසුව ඔහු මියගිය බව යුක්‍රේනය විසින් නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත් පෙරේදා (30) දින යුක්‍රේනයේ කීව් ප්‍රදේශයේදීම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ආකේඩි බැබ්චෙන්කෝ නැමැති අදාළ මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇත්තේ තම මරණය තමන් විසින් නිර්මාණය කරන ලද අසත්‍ය ප්‍රවෘත්තියක් බවයි.

රුසියාව විසින් මෙහෙයවනු ලැබූ ඝාතකයෙකු හසුකරගැනීම සඳහා එම ව්‍යාජ තොරතුරු පළ කිරීමට සිදුවූ  බව ඔහු සඳහන් කර තිබේ.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් රුසියාවට ද මීට පෙර චෝදනා එල්ල කර තිබූ අතර මාධ්‍යවේදියෙකු ඝාතනයට ලක්වීම පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන රැසක් හෙළා දැක තිබුණි.

කෙසේවෙතත් එය අසත්‍ය ප්‍රවෘත්තියක් බවට සැලවීමත් සමඟ ජාත්‍යන්තර සංවිධාන යුක්‍රේනයට ඒ පිළිබඳව අප්‍රසාදය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)