March 29, 2024

ලොව වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමද් දිවුරුම් දෙයි

මැලේසියානු මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලබමින් මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වීම මහතීර් මොහොමද් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය. 
 
මැතිවරණ ජයෙන් පසු මැලේසියාවේ රජු හමු වීමෙන් අනතුරුව හෙතෙම අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබිණි. අනූ දෙවැනි වියේ පසුවන මහතීර් මොහොමද් 1981 සිට 2003 දක්වා අවුරුදු 22ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය හෙබවීය. මහතීර් මොහොමද්ගේ දේශපාලන දිවිය දශක හතකට වැඩිය. 
 
මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් වූයේ 2015 වසරේදී ආරම්භ කළ ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂයෙනි. 
 
මැලේසියාවේ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ 1957 වසරේ සිට ඊයේ (10) දක්වා මැලේසියාවේ බලය හොබවූයේ  බරිසාන් නැෂනාල් සන්ධාන පක්ෂයයි. මහතීර් මොහොමද් 1981 වසරේදී අග්‍රාමාත්‍යධුරයට පත්වූයේත් එම පක්ෂයෙනි. එහෙත් හෙතෙම 2016 දී බරිසාන් නැෂනාල් සන්ධාන පක්ෂයෙන් ඉවත් විය. අග්‍රාමාත්‍ය නජීබ් රසාක් ට තම පැරැණි පක්ෂයට එල්ල වී තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව ද මහතීර් මොහොමද් කීය. 
 
මහතීර් මොහොමද් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වුවත් ඔහු කිසිවිටකත් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවීය. හෙතෙම දිගටම දේශපාලනයේ නිරත වූ අතර 2016 දී ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂය සමඟ එකතු විය. ‘පකතාන් හරපාන්’ පක්ෂයේ නායකයා දැනට සිර දඬුවම් විඳින අන්වර් ඊබ්‍රහීම්ය. 
 
අන්වර් මහතීර් මොහොමද් යටතේ මැලේසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යධුරය හා මුදල් අමාත්‍යධුරය හෙබවීය. එහෙත් දූෂණ චෝදනා නිසා මහතීර් මොහොමද්ගේ පාලන සමයේදී ඔහු සිරභාරයට පත්වූ අතර 2004 වසරේදී නිදහස ලැබීය. නැවතත් නජීබ් රස්කාගේ පාලනය යටතේදී 2015 වසරේදී සිරභාරයට පත්විය. ඔහුට දූෂණ චෝදනාද එල්ල වී තිබේ.
 
කෙසේ නමුත් ඔහු රාජකීය සමාව ලබාගැනීමට කටයුතු කරන බවත් ජූනි මාසයේදී ඔහු නිදහස් කරගැනීමට බලාපොරොත්තු වන බවත් මහතීර් මොහොමද් මැතිවරණ වේදිකාවලදී පැවැසීය. එපමණක් නොව ඔහුට අග්‍රාමාත්‍යධුරය බාර දී තමන් ඉන් ඉවත් වන බව ද මහතීර් මොහොමද් ප්‍රකාශ කර තිබේ. 

Rate this item
(0 votes)