April 16, 2024

කේම්බ්‍රිජ් ඇනලීටිකා ආයතනය වසා දැමීමේ තීරණයක්

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ලබාගෙන ඒවා දේශපාලන කටයුතු වෙනුවෙන් යොදාගත් බවට චෝදනා එල්ල වී තිබූ කේම්බ්‍රිජ් ඇනලීටිකා ආයතනය වසා දැමීමට තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලීටිකා සමාගම විසින් ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 87කගේ පමණ දත්ත සොරාගෙන ඇති අතර ඒවා විවිධ රටවල දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2016 අමෙරිකානු ජනාධිපතිවරණය හා බ්‍රිතාන්‍ය ජනමත විචාරණයක් ඇතුළු දේශපාලන කටයුතු වෙනුවෙන් ද අදාළ සොරාගත් තොරතුරු යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

එලෙස ලබාගන්නා තොරතුරු දේශපාලන කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් කේම්බ්‍රිජ් ඇනලීටිකා ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඇලෙක්සැන්ඩර් නික්ස් විසින් සිය සේවාදායකයෙකු සමඟ පවත්වන සාකච්ඡාවක් පසුගියදා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවෙන් ප්‍රචාරණය කරනු ලැබුවේය.

ඒ අනුව විමර්ශන සිදුකෙරුණු අතර කේම්බ්‍රිජ් ඇනලීටිකා ආයතනය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

Rate this item
(0 votes)