April 24, 2024

බ්‍රිතාන්‍ය රජ කිරුළේ පස් වැනි හිමිකරු ලුවී ආතර්

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඔවුන්ගේ තෙවැනි දරුවාට ලූවි ආතර් චාල්ස් යනුවෙන් නම් තැබූහ.
 
ඒ බව තහවුරු කරමින් බ්‍රිතාන්‍යයේ කෙන්සින්ග්ටන් මාලිගය පසුගියදා (27) ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය. මේ අනුව ලූවී කුමරු බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බවට නිල වශයෙන් පත්විය.
 
ලූවී කුමරු උපත ලැබුවේ ඉකුත් සඳුඳා (23) ය. උපත ලබන විට කුමරුගේ බර කිලෝග්‍රෑම් 3.8ක් වූ අතර එයත් සමඟ වසර සියයකට පසු රජ පවුලේ උපත ලැබූ බරින් වැඩිම දරුවා බවට පත්විය.
 
ලූවී කුමරු බිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ හයවැනි මී මුණුපුරාය. 
 
ලූවි නම කුමරුගේ පියා වන විලියම් කුමරුගේ සහ කුමරුගේ සොහොයුරා වන ජෝර්ජ් කුමරුගේ ද මැදි නමක් වේ. එමෙන්ම ආතර් යන්නද කේම්බ්‍රිජ් ආදිපාද ද වන විලියම් කුමරුගේ එක් නමකි. එමෙන්ම එය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ පියා වන හයවැනි ජෝර්ජ් රජුගේ මැදි නමකි.
 
අලුත් කුමරුට නම් යෝජනා කිරීමේදී දැඩි තරගයක් දක්නට තිබූ අතර සමාජ මාධ්‍ය ජාල ඒ සඳහා මත විමසීම් ද පැවැත්විණි.  එපමණක් නොව ඔට්ටු ඇල්ලීම් ද බ්‍රිතාන්‍යයේ තැන තැන තිබුණු බව වාර්තා විය.  ඒ අතරින් ආතර් යන නම මුල් තැන ගෙන තිබූ අතර ඊට පසු වැඩි ඉල්ලූමක් තිබුණේ ජේම්ස් සහ පිලිප් යන නම්වලටය.
 
නම් තැබීමත් සමඟ අලුත් කුමරුගේ නිල රාජකීය නාමය වනුයේ ‘කේම්බ්‍රිජ් හි ලූවී කුමරු’ යන්නයි.  ලුවී යන්න බ්‍රිතාන්‍යයේ ප්‍රකට නම් අතරින් එකකි. ලූවී මවුන්ට්බැට්න් සාමිවරයා ඒ අතරින් ප්‍රමුඛ පුද්ගලයෙකි.  ඔහු බ්‍රිතාන්‍යය රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම නාවිකයකු ද වන්නේය. ඔහු බ්‍රිතාන්‍යය ඉන්දියාවේ අවසාන ආණ්ඩුකාරවරයාය.

Rate this item
(0 votes)