April 20, 2024

උතුරු කොරියානු නායකයා දකුණු කොරියාවට

උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සනිටුහන් කරමින් උතුරු කොරියානු නායකයා – දකුණු කොරියාවට පැමිණියේ ය.

1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්-උන් ඉතිහාසගත වේ.

සාකච්ඡා ආරම්භ වීමට පෙර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 09.30ට උතුරු කොරියානු නායකයා හමු වූයේ දෙරට අතර ඇති දේශසීමාවේදී ය.

අනතුරුව දෙරටේ නායකයන් දෙපළ සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිහිටි යුද මුක්ත කලාපය බලා ගමන් ආරම්භ කළේ ය.

මෙම ඓතිහාසික සාකච්ඡාවට අවධානය යොමු වූයේ සිය න්‍යෂ්ටික අවි අත්හැර දැමීමේ සූදානමක් පැවතිය හැකි බවට උතුරු කොරියාව කළ ඉඟිය යි.

“ඔබ හමුවීම ගැන මට සතුටුයි” යනුවෙන් ජනාධිපති මූන් ජේ-ඉන් නායක කිම් ජොන්-උන් වෙත පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් ය.

තමන් විසින් සියලු ම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලද බව උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පවසා සිටියේ අප්‍රේල් 21 වන දා ය.

මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව පුදුමයට පත් කරමින් සෘජු සාකච්ඡාවක් සඳහා උතුරු කොරියාව පසුගිය මාසයේදී කළ ආරාධනය අමෙරිකානු ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් ද පිළිගත්තේ ය.

මෙම සාකච්ඡාව ද නුදුරේදීම පැවැත්වීමට නියමිත පසුබිමක් තුළ මෙලෙස කොරියානු නායකයින්ගේ හමුව සිදුවීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 April 2018 14:50