April 25, 2024

රසායන අවි හෙල්ලුවොත් දිගටම ගහනවා - ඇමෙරිකාව

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි පසුගියදා (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය.

ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ඇතැයි සැක කෙරෙන ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවන්නැයි රුසියාව ඉල්ලා සිටියේය. එහිදි අදහස් දක්වමින් ඇමෙරිකා තානාපති නිකී හේලි එම අනතුරු ඇඟවීම කළාය. 

“සිරියාවේ රසායනික අවි වැඩසටහන දුර්වල කළ බව අපිට විශ්වාසයි. අපි මේ පීඩනය දිගටම පවත්වාගෙන යනවා. සිරියානු රෙජීමය අපේ හැකියාව ශක්තිය සහ ධෛර්ය පරීක්ෂා කිරීමට තරම් මෝඩ වුවහොත් අපි දැනට වඩා පීඩනයක් එල්ල කරනවා. සිරියානු රෙජීමය නැවත වරක් විස වායු යොදාගත්තොත් ඇමෙරිකා එක්සත් ජනපදය එසැණින් ප්‍රහාර එල්ල කරනවා.” නිකී හේලි තවදුරටත් අනතුරු ඇඟවූවාය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 April 2018 11:56