April 18, 2024

වෙනිසියුලාවේ ගින්නකින් 68ක් මරුට

වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇතිවූ ගින්නකින් 68 කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලාවේ උතුරු ප්‍රදේශයේ වැලන්සියා නගරයේ පොලිස් මධ්‍යම රැඳවුම් බන්ධනාගාරයේ මෙම ගින්න හටගෙන ඇත.
 
සිරකරුවන් විසින් සිර කඳවුර බිඳ පලායාමේ උත්සාහයකදී සිරකරුවන්ට ලබා දී තිබු මෙට්ට කිසියම් හේතුවකින් ගිනිගෙන ඇති අතර එසේ ඇතිවූ ගින්නෙන් සිරකරුවන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
මියගිය වැඩිදෙනා පිලිස්සුම් තුවාල හෝ හුස්ම ගැනීමට අපහසුතා නිසා මියගොස් ඇතැයි සඳහන් වේ. මූලික පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ පිරිමි සිරකරුවන් 66 දෙනෙකු සහ සිරකරුවන් බැලීමට පැමිණි කාන්තාවන් 2නෙක් මියගොස් සිටින බවයි.
 
සිද්ධිය ඇතිවූ බව දැනගත් වහාම රැඳවියන්ගේ පවුල්වල අය රැස්වී එහි කලබල ඇතිකළ බව වාර්තාවේ. රැස්වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසියට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද සිදුවිය. කැරබොබො රජය ප්‍රකාශ කළේ මෙහි කුමක් සිදුවූවාද යන්න සොයා බැලීම සඳහා එරට ප්‍රාදේශීය රජය මෙන්ම මධ්‍යම රජයද වෙන වෙනම පරීක්ෂණ කරන බවයි. ඒ සඳහා තුන්දෙනෙකු ගෙන් යුක්ත කමිටුවක් මේ වනවිට පත්කොට තිබේ.
 
මේ අතර කැරබොබො ප්‍රාදේශීය රජය මියගිය රැදවියන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අදාළ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම  සඳහා උපකාරක කණ්ඩායම් පත්කොට ඇති බව රජය පවසයි.

Rate this item
(0 votes)