March 29, 2024

දිවි ඇති තෙක් බලයේ ඉන්න චීන ජනපතිට අවස්ථාවක්

ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව වෙනස් කරමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ඕනෑ තරම් කාලයක් බලයේ සිටීමට චීන කොමියුනිස්ට් පක්ෂය ඊයේ (11) අවස්ථාව සැකසීය.

මෙම ව්‍යවස්ථා වෙනසත් සමඟ චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ග්ට ඕනෑ තරම් කාලයක් ජනාධිපතිධුරය දැරීමට අවස්ථාව සැලසේ. මාවෝ සේතුංට පසු චීනයෙන් බිහි වූ වඩාත් බලවත්ම නායකයා බවට පත්වීමට ද ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට හැකියාව ලැබී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

චීන කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරයාගේ ධුර කාලය වෙනස් කිරීමේ ව්‍යවස්ථා වෙනස්කම සම්බන්ධ යෝජනාව නිවේදනය කරන ලද්දේ පසුගිය මාසයේදීය. ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම ඊයේ (11) පැවැත්විණි. නියෝජිතයන්ගෙන් 3,000කට ආසන්න පිරිසකගෙන් යෝජනාවට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි. තිදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ. 

චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් සංශෝධන ද මෙහිදි ඉදිරිපත් වූ අතර එම සංශෝධන ද ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. එසේ චීන ජනාධිපතිවරයකුගේ දේශපාලන න්‍යායක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ අවස්ථා දෙකකදි පමණි. එසේ ඇතුළත් කර ඇත්තේ මාවෝ සේතුංගේ සහ ඩෙන් ෂාඕපින්ගේ දේශපාලන න්‍යාය. ඒ අතරින් මාවෝ සේතුං ජානධිපතිවරයා ජීවත්ව සිටියදීම ඔහුගේ දේශපාලන න්‍යාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. ඒ අනුව එසේ ජීවත්ව සිටියදී නායකයකුගේ දේශපාලන න්‍යායක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ වරම ලද දෙවැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි. 

චීනය දූෂණ විරෝධී දෙපාර්තමේන්තුවක් ද ස්ථාපිත කරන ලද අතර එය ක්‍රියාත්මක වන්නේ ද ජනාධිපති ෂී ජින්පින්ගේ සෘජු අධීක්ෂණය යටතේය. එම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව වගන්ති ඇතුළත් කිරීම ද අද දින සිදුවිණි. 

Rate this item
(0 votes)