March 29, 2024

හිටපු අගමැති යළිත් අගමැතිකම ඉල්ලයි

මැලේසියාවේ මීළඟ මැතිවරණය මේ වසරේ අගෝස්තුවේ දී පැවැත්වීමට නියමිත නමුත් බහුතර විශ්වාසය වී ඇත්තේ මාර්තු මාසය වන විට මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

මේ අතර මැලේසියාවේ හිටපු අගමැතිවරයකු වන මහතීර් මොහමඩ් මහතා සිය 92 වැනි වියේ දී නැවතත් දේශපාලනයට අවතීර්ණවීමට තීරණය කර තිබේ. ඒ මැලේසියාවේ මීළඟ මැතිවරණයේ දී විරුද්ධ පක්ෂය වෙනුවෙන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමිනි.

වසර 22ක් තම රට වෙනුවෙන් සේවය කළ ඔහු 2003 වසරේ දී විශ්‍රාම ගියේය. විශ්‍රාම සුවයෙන් ගත කළ යුතු කාල සීමාවක නැවතත් දේශපාලනයට පැමිණීමට තීරණය කළේ ඇයි දැයි විදෙස් මාධ්‍ය ප්‍රශ්න කිරීමේ දී ඔහු කියා සිටියේ එය තමන්ට පැවරී ඇති රාජකාරියක් ලෙස තමා සිතන බවයි.

‘තමන් ගැන පමණක් සිතමින් මුදල් සොරකම් කරමින් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන පිරිසට මේ රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි’ ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වුවත් 2013 වසරේ එරට අවසන් වරට මැතිවරණය පැවැත්වෙද් දී විරුද්ධ පක්ෂය ලබා තිබූ ජනතා ප්‍රසාදය මේ වන විට වඩාත් දුර්වල වී ඇති බව වාර්තා වේ. එසේම නජිබ් රසාක් නායකත්වයෙන් යුත් පාලක බැරිසන් නැෂනල් සන්ධානයද පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීමට අසමත් වී ඇති බව වාර්තා වේ.

මහතීර් මොහමඩ්ගේ ආගමනය විරුද්ධ පක්ෂයේ සමස්ත කැමැත්ත නොවන බව පෙනී යන්නේ ඔහුට පක්ෂව මෙන්ම විපක්ෂව ද එම පක්ෂය තුළින්ම නැ‍ඟෙන හඬ තුළිනි. සමහරු පවසන්නේ මහතීර් විසින් විශාල හානියක් සිදු කර තිබූ බවයි. එහෙත් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සාමාජික චාර්ල්ස් සැන්ටියාගේ පවසන්නේ විරුද්ධ පක්ෂයට මහතීර් වැනි ශක්තිමත් පුද්ගලයකු අවශ්‍ය බවයි.

‘මේ අවස්ථාවේ අපට සිටින ශක්තිමත්ම පුද්ගලයා වෛද්‍ය මහතීර්. දේශපාලනය කියන්නේ හරිම අපූරු දෙයක්. දේශපාලනයේ දී මේ විනාඩියේ ඔබ සතුරකු වුවත් ඊළඟ විනාඩියේ දී මිතුරකු විය හැකියි.’ 

Rate this item
(4 votes)