April 19, 2024

දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරක් - මියගිය ගණන ඉහළට

දකුණු අප්‍රිකාවේ සිදු වූ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වාත් තුවාල ලැබූ සංඛ්‍යාව 254ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. පෝට් එළිසබෙත් සිට ජොහැන්නර්ස්බර්ග් වෙත ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්වූ අතර දුම්රිය පෙට්ටි කිහිපයකටම දැඩි ලෙස හානි විය. 
 
දුම්රිය අනතුරත් සමඟ දුම්රිය පෙට්ටි කිහිපයක් ගිනිගෙන තිබෙන අතර බොහෝ පිරිසක් පිළිස්සුම් තුවාල ලැබූහ. අනතුර සිදු වූ සැණින් සහන සේවකයන් එම ස්ථානයට පැමිණියහ. අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරකට චෝදනා එල්ල වී තිබෙන අතර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි දකුණු අප්‍රිකාවේ ප්‍රවාහන අමාත්‍ය ජෝ මස්වන්ගනී වාර්තාකරුවන් හමුවේ පැවැසීය. 
 
අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිටියේද යන අනාවරණය කරගැනීම සඳහා චෝදනා එල්ල වී තිබෙන ට්‍රක් රියදුරා වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බව ද දකුණු අප්‍රිකා පොලිසිය ප්‍රකාශ කළේය.
 
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගීන් 429 දෙනකු සිට ඇතැයි පැවසේ. දකුණු අප්‍රිකාවේ දුම්රිය ආරක්ෂක නියාමන දත්ත වාර්තාවලට අනුව 2016 සහ 2017 දෙවසරක කාලයේදී දුම්රිය අනතුරවලින් මියගිය ගණන 495කි. 

Rate this item
(0 votes)