March 28, 2024

ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට රතු එළියක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නැවත වරක් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උතුරු කොරියාවට මෙලෙස අනතුරු ඇඟවූයේ උතුරු කොරියාවේ තරුණ නායකයා අලුත් අවුරුදු උදාවේදී කරන ලද ප්‍රකාශයත් සමඟය. 

න්‍යෂ්ටික යුද්ධයේ බොත්තම සෑම විටම ඇත්තේ තමන්ගේ මේසය උඩ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අලුත් අවුරුදු උදාවේදී පැවැසීය. 
ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා අඟහරුවාදා (2) රාත්‍රීයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය.

“සෑම විටම න්‍යෂ්ටික බොත්තම තිබෙන්නේ මගේ මේසය උඩ යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. මටත් න්‍යෂ්ටික බොත්තමක් තිබෙන බව හිස් සහ ආහාර නොමැතිව කුසගින්නේ පෙළෙන උතුරු කොරියානු රෙජීමයේ කවුරුන් හෝ ඔහුට මතක් කර දෙන්න. එය උතුරු කොරියානු නායකයා සතු බොත්තමට වඩා විශාල සහ බලසම්පන්න බව ඔහුට මත් කර දෙන්න. එය වැඩ කරන බව ද ඔහුට මතක් කර දෙන්න” යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ව තිබේ. 

උතුරු කොරියානු නායකයා අලුත් අවුරුදු උදාවේදී තවත් විශේෂ කරුණු කිහිපයක්ම සඳහන් කළ අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායම් සහභාගී වන බව එහිදි ප්‍රකාශ කළේය. එය විදෙස් මාධ්‍ය ඇතුළු බොහෝ පාර්ශවවල අවධානයට යොමු විය. 

උතුරු කොරියානු නායකයාගේ එම ප්‍රකාශයට දකුණු කොරියාවෙන් ද යහපත් ප්‍රතිචාරයක් හිමි වූ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ද පැවැසීය.

මේ අනුව ජනවාරි 9 වැනිදා කොරියානු අර්බුදය සම්බන්ධයෙන් දකුණු හා උතුරු කොරියානු නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඇමෙරිකා මේ සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක පසුවෙයි. සත්‍ය වශයෙන්ම සාකච්ඡා පැවැත්වේවිදැයි ද ඇමෙරිකාව විමසයි. 

Rate this item
(0 votes)