April 19, 2024

සෞදි හමුදාවෙන් යේමනයට ගුවන් ප්‍රහාරයක්

December 27, 2017

නිරිතදිග යේමනයේ තායිස් පළාතේ වෙළෙඳපොළකට සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය හා තුවාල ලැබූ පිරිස 100 ඉක්මවා ගොස් ඇතැයි එරට බලධාරීහූ පවසති. 

හයිමේ දිස්ත්‍රික්කයේ පිහිටි වෙළෙඳපොළකට ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අතර යේමන සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ. මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යා වෙන වෙනම ප්‍රකාශ කිරීමට තවම හැකියාවක් නැතැයි යේමන බලධාරීහූ කියති.
 
මෙම ගුවන් ප්‍රහාරය එල්ල වූයේ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාර කිහිපයකින් 30 කට ආසන්න පිරිසක් මියගොස් දිනක් ගත වෙන්නට පෙරය. එම ප්‍රහාර ගොන්නට යේමනයේ අගනුවර වන සානා නුවරට එල්ල කරන ලද ප්‍රහාර ද අයත් යැයි වාර්තා වේ. 
 
සෞදි අරාබිය 2015 වසරේ මාර්තු මාසයේ සිට ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි. සෞදි අරාබිය යේමනය තුළ දියත් කර තිබෙන හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් ආසන්න වශයෙන් 13,600කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි පැවසේ. 

Rate this item
(0 votes)