December 15, 2017

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම වුනොත් ගැටලු රැසක්

ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම පිළිගැනීමට කටයුතු කළහොත් එය අරාබි සහ මුස්ලිම් ලෝකය කෝප ගන්වන ක්‍රියාවක් වනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමාන් සෆාදි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන්ට පවසා තිබේ. 
 
ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
 
කෙසේ නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදේශක වශයෙන් කටයුතු කරන ඔහුගේ බෑණා වන ජාර්ඩ් කුෂ්නර් එවැනි කිසිදු තීරණයක් ගෙන නැතැයි පවසා ඇත. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම පිළිගැනීමට කටයුතු කළහොත් දරුණු ප්‍රතිවිපාක ඇතිවනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි. 
 
එවැනි තීරණයක් නිසා තෙල් අර්බුදයක්, මුස්ලිම් හා අරාබි ලෝකය කෝපගැන්වීමක් සහ සාම සැලසුම් සියල්ල විනාශ වීමක් සිදුවිය හැකි යැයි ඔහු තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 
 
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අරාබි ලීගයේ සහ සාමාජික රටවල් 57කින් සමන්විත මුස්ලිම් සහයෝගීතා සංවිධානයේ හදිසි රැස්වීම් කැඳවීමට ද ජෝර්දානය  කටයුතු කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 December 2017 08:40