April 25, 2024

මුගාබේ පක්ෂ නායකත්වයෙන් නෙරපයි

November 20, 2017

සිම්බාබ්වේ පාලක පක්ෂය රොබට් මුගාබේ එම පක්ෂ නායකත්වයෙන් ඉවත් කර තිබෙන අතර ඔහුට ජනාධිපතිධුරයෙන් ඉවත් වීම සඳහා පැය 24 ක කාලයක් ලබා දී තිබේ. එසේ නොවූවහොත් 93 වැනි වියේ පසුවන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද එම පක්ෂය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මුගාබේ ජනාධිපතිවරයාගේ 37 වසරක පාලනය අවසන් කිරීමේ අරමුණින් පසුගිය දා සිම්බාබ්වේ හමුදා රාජ්‍ය මාධ්‍ය සියතට ගනිමින් මුගාබේ සිර අඩස්සියට ගත්තේය. එපමණක් නොව එය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් මුගාබේ ජනාධිපතිවරයා වටා සිටිනා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් හමුදා ප්‍රකාශයක් කරමින් කීය.
 
වසර 1980 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමෙන් පසු  මේ දක්වා පක්ෂයේත් සිම්බාබ්වේ දේශයෙත් බලය හෙබවූයේත් රොබට් මුගාබේය. ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ හිටපු උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා සානු පී.එෆ් පක්ෂ නායකත්වයට පත්ව තිබේ. 
 
රොබට් මුගාබේ මේ මස මුලදී එමර්සන් උප ජනාධිපතිධුරයෙන් ඉවත් කරමින් තම බිරිඳ වන ග්‍රේස් මුගාබේ, ජනාධිපති මුගාබේ අනුප්‍රාප්තිකයා වීමට මාර්ගය විවර කළේය. රටේ පාලන කටයුතුවලට හමුදාවට මැදිහත් වූයේ ද මෙයයි. 

Rate this item
(0 votes)