March 28, 2024

ග්‍රීසියේ ගංවතුරෙන් 15 ක් මරුට

November 17, 2017

ග්‍රීසියේ  ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 15 දෙනෙකු පමණ මියගොස් 37ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඇතැන්ස් නගරයෙන් බටහිර පිහිටි මන්ද්‍රා, නියා පෙරමෝස් සහ මෙගාරා යන කාර්මික නගර වලට දැඩි හානි සිදුව තිබෙන බව බලධාරීහු පවසති. 
 
කාලගුණ විද්‍යා අංශ පවසන්නේ සතියක පමණ කාලයක සිට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් ගංවතුර හටගත් බවයි. වයෝවෘද්ධ පුද්ගලයන් වැඩි දෙනෙක් මියගිය අය අතර සිටින බවත් රාත්‍රී කාලයේ හදිසියේම ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් නිවෙස්වල නිදා සිටි අය මෙලෙස මියගොස් ඇති බවත් පැවසේ.
 
අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව මන්ද්‍රා නගරාධිපතිවරයා පවසයි. 
 
මහාමාර්ග රැසක් මඩ සහිත ජලයෙන් පිරී පවතින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. සිදුවූ හදිසි ඛේදවාචකය හේතුවෙන් ග්‍රීසියේ රජය විසින් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

(බීබීසී)

Rate this item
(0 votes)