April 25, 2024

ට්‍රම්ප්ගේ ආසියානු සංචාරය ඇරැඹේ

November 06, 2017

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තම පළමු ආසියා  සංචාරය ආරම්භ කරමින් ඊයේ (5) ජපානයට පැමිණියේය. 

විදෙස් මාධ්‍ය ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ආසියානු සංචාරය ‘මැරතන් ආසියානු සංචාරය’ යනුවෙන් නම් කර තිබූ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ආසියානු සංචාරය ආරම්භ කරනුයේ උතුරු කොරියාවත් එක්සත් ජනපදයත් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන කාලයකදීය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීමේ වැඩසටහන් නිසා උතුරු කොරියාවත් ඇමෙරිකාවත් අතර පසුගිය මාස කිහිපයේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 

ජපානයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ටෝකියෝ අගනුවර ආසන්නයේ වන යොකෝටාහි තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත විය. එහිදී සාමය හා ආරක්ෂක නිදහස වෙනුවෙන් අවශ්‍ය හමුදා සම්පත් වෙන් කිරීම තහවුරු කරන බව සොල්දාදුවන් හමුවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා පොරොන්දුවක් ද දුන්නේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයකු වසර 25කට පසු ආසියාවේ නිරත වන දීර්ඝතම සංචාරය ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස ආරම්භ කරන ලදි. මෙම සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ජපානය, දකුණු කොරියාව, චීනය, වියට්නාමය, පිලිපීනය යන රටවලට යෑමට නියමිතය. ඒ අතරවාරයේදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට ද නියමිත බව පැවසේ. පුටින් ජනාධිපතිවරයා සමඟ උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. 

ආසියානු සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුව, අග්නිදිග ආසියානු රටවල සංවිධානයේ 50 වැනි සංවත්සර සමුළුව හා ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව හා ඉන්දියාව ද ඇතුළත් නැගෙනහිර ආසියානු සමුළුව යන සමුළුවලට ද සහභාගී වීමට නියමිතය. 

“කිසිවකුට, කිසිදු ඒකාධිපතියකුට, කිසිදු රෙජිමයකට ඇමෙරිකාවේ අධිෂ්ඨානය හා විශ්වාසය අවතක්සේරු කළ කරන්න බැහැ” යැයි ඇමෙරිකා හා ජපාන සේනාංකවල අත්පොළසන් හමුවේ ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  ජපානයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමඟ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීමට ද නියමිතය. 

අවසන් වරට ආසියාවේ දීර්ඝ සංචාරයක නිරත වූයේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ්  ඩබ් බුෂ්ය. ඔහු 1991 වසරේ අගභාගයේදී සහ 1992 වසරේ මුල් කාලයේදී ආසියානු සංචාරයක නිරත විය.ඩොනල්ඞ් ට්‍රම්ප් දින 12ක් ආසියාවේ රැඳි සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)