April 20, 2024

ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයෙන් (යුනෙස්කෝ) ඉවත් වීමට තීරණය කර තිබේ.

යුනෙස්කෝව ලෙසින් හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය පසුගිය කාලයේදී ගෙන එන ලද සියලු යෝජනා ඊශ්‍රායල විරෝධී යෝජනා බවට චෝදනා කරමින් ඇමෙරිකාව මෙලෙස එම සංවිධානයෙන් ඉවත් වී තිබේ.

යුනෙස්කෝ සංවිධානය 2011 වසරේදී පලස්තීනය එම සංවිධානයේ සාමාජික රටක් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඇමෙරිකාව ඊට අරමුදල් සැපයීම නවතා දැමීය. එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය පිහිටි ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ කාර්යාලයක් පවත්වා ගෙන යෑමට කටයුතු කළේය.

කෙසේ නමුත් ඇමෙරිකාව යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීම එක්සත් ජාතීන්ගේ පවුලට සිදු වූ පාඩුවක් යැයි ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරල් අයිරිනා බොකෝවා පවසා තිබේ.

ඇමෙරිකාව  යුනෙස්කෝ සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීම ක්‍රියාත්මක වනු ඇත්තේ ලබන වසරේ දෙසැම්බර් මාසයේ සිටය.

මේ අතර ඇමෙරිකාව අනුගමනය කරමින් ඊශ්‍රායලයද යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීමට නියමිත යැයි වාර්තා වේ.

(ඩේලිමේල්)

 

Rate this item
(0 votes)