April 23, 2024

අවුන් සාන් සුචී එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී නොවේ

September 14, 2017

නිව්යෝක් නුවර මීළඟ සතියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී සහභාගී නොවනු ඇති බව එරට ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ නමුත් ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නොමැත.

මේ අතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අවුන් සාන් සුචී දෝෂ දර්ශනයට ලක් වේ.

අගෝස්තු මාසයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ රඛයින් ප්‍රාන්තයේ සිට අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගොස් ඇති රෝහින්ග්‍යා වැසියන් සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහසකි.

"වාර්ගික ශුද්ධයක" යෙදී සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාර ආණ්ඩුවට චෝදනා කරයි.

රෝහින්ග්‍යා ප්‍රජාව බංග්ලාදේශයේ සිට සිය රට වෙත සංක්‍රමණය වී ඇති බව මියන්මාරය පවසයි.

එම ප්‍රහාරයත් සමග ආණ්ඩුවේ හමුදා සහ බෞද්ධ කණ්ඩායම් වැටලීම් සිදු කරමින් ගිනි තැබීම ආරම්භ කළ බව පළා යමින් සිටින රෝහින්ග්‍යා මුස්ලිම් වැසියෝ පවසති.

පොලිස් මුරපොලවල් වෙත එල්ල කළ ප්‍රහාරය තමන් විසින් දියත් කරන ලද බව 'අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව'හෙවත් 'අර්සා' ලෙස හඳුන්වා ගනු ලබන කණ්ඩායමක් පවසයි.

රාජ්‍ය මර්දනයෙන් මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සුළුතරය ආරක්ෂා කර ගැනීම සිය ප්‍රධාන අරමුණ බව ඔවුහු පවසති.

'අර්සා'නායකයන් විදේශයක දී පුහුණුව ලබා ඇති බවත් එය ත්‍රස්තවාදී කණ්ඩායමක් බවත් මියන්මාර ආණ්ඩුව පවසයි.

එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් 'ඒෂියා ටයිම්ස්' වෙත පවසා තිබුණේ තම කණ්ඩායම ජිහාඩ් කණ්ඩායම් සමග සබඳතා නොපවත්වන බවය.

2012 වසරේ හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ කෝපයට පත් තරුණ පිරිස් සිය කණ්ඩායමේ සාමාජිකත්වය දරන බවත් ඔහු සඳහන් කර තිබිණි.

(බීබීසී)

Rate this item
(0 votes)