April 25, 2024

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඉල්ලා අස්වෙයි

ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අගමැතිවරයාගේ දරුවන් හා විදේශීය සමාගම් අතර සබඳතා පැවති බව පැනමා ලිපිගොනුවලින් අනාවරණය වීමත් සමග ඔහුගේ පවුලේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීන්දුව දෙනු ලබන අවස්ථාවේ ඉස්ලාමාබාද් අගනුවර ආරක්ෂාව තර කර තිබූ අතර අදාළ චෝදනා අගමැති ෂරීෆ් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

පංච පුද්ගල මඩුල්ලක් විසින් අදාළ තීන්දුව ලබා දෙනු ලැබූ අතර සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ් ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරන අතර එබැවින් අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට බලකරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)