April 20, 2024

ඉන්දියාවේ ජනපති සටන පීඩිත කුලයේ දෙදෙනෙකු අතර

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් දැන් ආරම්භ වී ඇති අතර මෙවර විශේෂත්වය වන්නේ තරඟය පවතින්නේ 'දලිත්' කුල පීඩිත ප්‍රජාව අතරින් මතු වූ නියෝජිතයන් දෙදෙනකු අතර වීමයි.

භාරතීය ජනතා පක්ෂයේ රාම් නාත් කෝවින්ද්(Ram Nath Kovind) සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහයෝගය ලබන මීරා කුමාර් (Meira Kumar) එම අපේක්ෂකයෝ දෙදෙනා බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොවේ.එය සිදු කෙරෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකේ මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් ද ඇතුළත් ඡන්ද පීඨයක් (electoral college) මගිනි.

ඉන්දීය ප්‍රාන්ත විසි නවයක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝ ඡන්ද පීඨයට ඇතුළත් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම තරඟයෙන් ජයගනු ලැබුනොත් රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ ජනාධිපති පදවියට පත් දෙවන දලිත් පුරවැසියා ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සමඟ තරඟ වදින කොන්ග්‍රස් පක්ෂයේ සහයෝගය ලබන 72 හැවිරිදි මීරා කුමාර් පස් වරක් ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර ලෝක් සභාවේ කාතානායකවරිය ලෙසත් කටයුතු කර ඇති අතර ඇය ඉන්දියාවේ නියෝජ්‍ය අගමැතිවරයකු ලෙස ක්‍රියාකර ඇති 'දලිත්' නායකයකු වූ ජග්ජිවන් රාම් ගේ (Babu Jagjivan Ram) දියණියකි.

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා කවුරුන්ද යන්න මෙම මාසයේ 20 වෙනිදින ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 (බීබීසී)

 

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 July 2017 11:26