March 28, 2024

යුද ජය සැමරීමට ඉරාක අගමැති මෝසුල් නගරයට

IS කැරලිකරුවන් පරාජය කරමින් මෝසුල් නගරය ජය ගත් ඉරාක හමුදාවට සුබ පැතීම සඳහා ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි මෝසුල් නගරයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත්තේ නගරය නිදහස් කරගත් බව සහ ඉරාක හමුදාව ජයගත් බව නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා අගමැතිවරයා මෝසුල් බලා ගිය බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

මොසුල් නගරය මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව සටන ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 17වැනිදා බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකයේ විශාල භූමි ප්‍රදේශයක බලය සියතට ගැනීමට පෙර මෝසුල් නගරය අත්පත් කර ගත්තේ 2014 වසරේ ජුනි මාසයේදී ය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රධාන බලකොටුවක් ලෙස පැවතුණු මෝසුල් නගරය දිනා ගැනීමට ඉරාක හමුදාවට මාස නවයක් ගත වූ බවත් පසුගිය ජනවාරියේදී මෝසුල්හි නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමට ඉරාක හමුදාවට හැකි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක හමුදාව විසින් මෝසුල් නුවර ජය ගනු ලැබීම හා ඉරාකය තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අවසානය ලෙස අර්ථ දැක්විය නොහැකි බව එහි සිටින වාර්තාකරුවෝ පවසති.

ඔවුන් කියා සිටින්නේ, ඉරාකයේ වෙනත් ප්‍රදේශවල තැනින් තැන IS කැරලිකරුවන් තවමත් ක්‍රියාත්මක වන හෙයින් ඉරාක හමුදාව යටතේ පවතින ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව IS සතුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)