April 20, 2024

මෙලනියා එක්ක ට්‍රම්ප් පවුලම එක වහලක් යටට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ පුත් බැරන් වොෂින්ටනයේ ධවල මන්දිරයේ පදිංචියට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් පදිංචිය සඳහා ධවල මන්දිරයට පැමිණෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වී මාස පහකට පසුවය.

ජනාධිපතිවරයාගේ බිරිඳ ධවල මන්දිරයට නොපැමිණ නිව්යෝර්ක් නුවර සිටීමට තීරණය කර තිබුණේ එකොළොස් වියැති පුත් බැරන්ගේ පාසල් අධ්‍යයන වර්ෂය ඔහු අධ්‍යාපනය ලබමින් සිටි පාසලේම නිම කිරීමට ඉඩ සළසා දීම සඳහා බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

මෑත ඉතිහාසයේ ස්වාමියා ජනාධිපති ධුරයට පත් වූ වහාම ධවල මන්දිරයේ පදිංචියට නොපැමිණි එකම ජනපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් ය.

මිෂෙල් ඔබාමා ද තම ස්වාමියා සමඟ ධවල මන්දිරයට පැමිණ සිය දියණියන් දෙදෙනා නව පාසලකට ඇතුළත් කළාය.

කෙසේ නමුත් නව වාසස්ථානය පිළිබඳව මෙලනියා ට්‍රම්ප් ඉතා සතුටින් සිටින බව ඇය ට්විටර් සමාජ ජාලයට නිකුත් කර ඇති ඡායාරූපයකින් පෙනී යයි.

ධවල මන්දිරයේ කවුළුවකින් තමන් දකින දසුන ඇය කැමරාවට හසු කරගෙන එය ට්විටර් ජාලයට එක්කර තිබේ.

විශේෂ ආරක්ෂක විධි විධාන හේතුවෙන් 'ට්‍රම්ප් ටවර්' අවට රථවාහන ගමනාගමනයට ද අපහසුතා මතුවී තිබිණ.

ධවල මන්දිරයේ කවුළුවකින් මෙලනියා දකින දසුන
(බීබීසි)

Rate this item
(0 votes)