April 25, 2024

ඇෆ්ගනිස්ථානයේ ජනපති මන්දිරය පිහිටි ප්‍රදේශයට බෝම්බ ප්‍රහාරයක් - 90ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජනාධිපති මන්දිරය හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල පිහිටි ප්‍රදේශයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 90ක් මියගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් භක්තිකයන් මේ දිනවල රාමදාන් උපවාසයේ යෙදෙන අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල විය. මෙම බෝම්බ ප්‍රහාරය කාබුල් නුවරට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර බෝම්බය පුපුරා ගොස් ඇත්තේ ජර්මානු තානාපති කාර්යාලයේ ආසන්නයේ යැයි වාර්තා විය.

පිපිරීමෙන් ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක භටයකු තුවාල ලබා ඇතැයි ද කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට තුවාල සිදු ව ඇතැයි ද එරට විදේශ අමාත්‍ය සිග්මාර් ග්‍රාබියෙල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
මෙම ප්‍රහාරය කාර් බෝම්බ ප්‍රහාරයක් යැයි කාබුල් පොලිසියේ ප්‍රකාශක බසීර් මුජාහිද්ය.

“බෝම්බය පුපුරා ගියේ ජර්මානු තානාපති කාර්යාලය ආසන්නයේ. ඒ අවට තවත් තානාපති කාර්යාල රැසක් තිබෙනවා” යැයි බසීර් මුජාහිද් පැවැසීය.

බෝම්බයෙන්, බෝම්බය පුපුරා ගිය ස්ථානයේ සිට මීටර 100ක් පමණ දුරින් පිහිටි ස්ථානවලට ද හානි සිදු වී ඇතැයි වාර්තා විය. මෙම බෝම්බය මීට පෙර එල්ල වූ ප්‍රහාරවලට වඩා ප්‍රබලත්වයෙන් ඉහළ බව වාර්තා වූ අතර වතුර ප්‍රවාහනය කරන බවුසරයක, වතුර ටැංකියක පුපුරණ පුරවා තිබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

තානාපති කාර්යාල ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල, ඇෆ්ගන් රජයේ ප්‍රධාන කාර්යාල ඇතුළු ප්‍රධාන පෙළේ පිරිස්වල නිල නිවාස හා ජනාධිපති මන්දිරය පිහිටි මෙම ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කිරීමට ප්‍රහාරයෙන් ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රමුඛ නේටෝ හමුදා කටයුතු කළේය.

ප්‍රහාරයෙන් අවම වශයෙන් 80කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද 350කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද ඇෆ්ගනිස්තානයේ මහජන සෞඛ්‍ය නිලධාරියකු පැවැසීය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ බොහෝ දෙනා සිවිල් වැසියෝය.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජර්මානු තානාපති කාර්යාලයේ පිරිස් අමතරව, ප්‍රංශ හා චීන තානාපති කාර්යාලවල පිරිස් ද තුවාල සිදුව ඇතැයි වාර්තා විය.

Rate this item
(0 votes)