April 20, 2024

නව ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන්

ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන්ට ( Emmanuel Macron) ඉහළ ජයක් ලැබිලා තියනවා.

ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශිත ඡන්දවලින් 65% ක් ලබා ඇති අතර ප්‍රතිවාදී මරීන් ල- පෙන් (Marine Le Pen)  ලබා ගෙන ඇත්තේ 35% ප්‍රතිශතයක්.

ඒ අනුව තිස් නව හැවිරිදි මැක්‍රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතයි.

එම ප්‍රතිඵල නිල වශයෙන් සනාථ වුවහොත් 1958 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා පත්වන පළමු පුද්ගලයා ඔහු වනු ඇති බව ප්‍රංශ මාධ්‍ය සඳහන් කරනවා.

ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද වීමසීම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වුණා.

ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන් ආධාරකරුවෝ පැරිස් නුවරට එක්රැස් වී ඉන්න බව BBC මාධ්‍ය ජාලය පවසනවා.

AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් මැක්‍රෝන් "බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වුනා" යනුවෙන් පැවසුවා.

එම්මානුවෙල් මැක්‍රෝන්ගේ කාර්ය මණ්ඩලය කියා සිටියේ නව ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියා වූ මරීන් ල-පෙන් සමග "සුහදශීලී" දුරකථන සංවාදයක යෙදුනු බවයි.

මේ අතර සිය ආධාරකරුවන් අමතමින් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක් ප්‍රංශ ජනතාවට ස්තුති පළ කළා.

ඇය විසින් ජනාධිපතිවරණය හඳුන්වනු ලැබුවේ "දේශප්‍රේමීන් සහ ගෝලීයවාදීන්" අතර සටනක් ලෙසට.

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 May 2017 10:43