April 19, 2024

පැරිසියේ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියකු මරුට

තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්වී ප්‍රංශයේ පැරිස් නුවරදී පොලිස් නිලධාරියකු මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ලවුණු චැම්ප් එලිසීස් ප්‍රදේශය මුද්‍රා තබා තිබේ. මේ සිද්ධිය හටගැනුනේ ලබන ඉරිදා පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයට සැරසෙන ප්‍රධාන අපේක්ෂකයින් රුපවාහිනිය ඔස්සේ සිය අදහස් පළකරන අතරවාරයේදීය.

"පෙනෙන්නට ඇති ආකාරයට හිතාමතාම අදාළ නිලධාරීන් වෙත ප්‍රහාරය එල්ලකර තිබෙනවා" යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක පියේ හෙන්ර්ය් බ්‍රන්ඩෙට් ප්‍රංශයේ BFMTV පුවත් සේවයට පවසා තිබේ.

ප්‍රංශයේ වේලාවෙන් රාත්‍රී 9 ට පොලිස් බස් රථයක් අසලින් මාර්ගයේ පසෙක නතර කළ මෝටර් රියක සිටි පුද්ගලයෙකු ස්වයංක්‍රීය ගිනි අවියකින් බස් රියට ප්‍රහාර එල්ල කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

එක් නිලධාරියකු ඝාතනය කළ ප්‍රහාරකයා තවත් දෙදෙනෙකුට තුවාල කරමින් පළා යාමට උත්සහ කළද ආරක්ෂක අංශවල වෙඩි පහරට ලක්ව මිය ගිය බවද ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් මරා දැමීමට ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් ටෙලිග්‍රෑම් පණිවිඩ සේවය හරහා කළ ප්‍රකාශ අනුව ආරක්ෂක අංශ ඝාතකයා පිළිබඳ දැනසිටි බව ආරංචි මාර්ග උපුටා දක්වන BFMTV පුවත් චැනලය පැවසීය.

Rate this item
(0 votes)