April 25, 2024

ඕස්ට්‍රේලියාවේ රැකියා වීසා නීති දැඩි වෙයි

ඕස්ට්‍රේලියාවේ රැකියා පතන විදේශිකයන්ට වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය දැඩි කරන බව එරට රජය නිවේදනය කළේය.

'457 වීසා වැඩසටහන' ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලැබුවේ ආපන ශාලා, තොරතුරු තාක්ෂණය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු සඳහා විදේශිකයන් බඳවාගැනීම පිණිසය.

එම වැඩසටහන භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණි බහුතරය ඉන්දීය, බ්‍රිතාන්‍ය සහ චීන ජාතිකයන්වන අතර, ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන්ද සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අවසරය හිමිවිය.

එහෙත් අදාළ ක්ෂේත්‍රවල රැකියා ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම පිණිස '457 වීසා වැඩසටහන' අවලංගු කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් නිවේදනය කළේය.

457 වැඩසටහන යොදාගෙන විදේශිකයන් රැකියා පැතීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට රැකියා අහිමිවන බවට විවේචකයෝ තර්ක කළහ.

ඒ වෙනුවට ක්‍රියාවට නැගෙන නව වැඩසටහන මගින් නිකුත් කරනු ලබන්නේ තාවකාලික වීසා බලපත් පමණක්වන අතර, ඒ සඳහා කලින්ට වඩා සුදුසුකම් සපුරාලීමද අවශ්‍ය වේ.

එය ජාතික අවශ්‍යතා මත පමණක් පදනම් වන්නක් බවද අගමැතිවරයා අවධාරණය කරයි.

'457 වීසා වැඩසටහන' යටතේ 2016 දී වීසා බලපත්‍ර බහුතරය නිකුත්කර තිබෙන්නේ කෝකියන්, පරිගණක ශිල්පීන් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහාය.

ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 457 වැඩසටහන යටතේ පසුගිය වසරේ නිකුත් කරන ලද 95,758 ක පිරිස අතරින් වැඩිම ප්‍රතිශතය (24.6%) පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්වන අතර, බ්‍රිතාන්‍ය (19.5%) සහ චීන ජාතිකයන් (5.8%) විශාල පිරිසක්ද ඒ අතර සිටිති.

එම ක්‍රමය යටතේ කෙටි කාලීන වීසා සඳහා රැකියා 650 ක් පමණ ඇතුළත්ව තිබුණු නමුත් එයින් රැකියා 200 ක් පමණ හඳුන්වා දෙන නව වීසා ක්‍රමයෙන් ඉවත් කෙරෙන බව අගමැති ටර්න්බුල් නිවේදනය කළේය.

දිගු කාලීන වීසා සඳහා විධිවිධාන තවත් දැඩි කෙරෙනු ඇති බවත් සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් පැවසීය.

ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය සහ අපරාධවලට සම්බන්ධ වී නොතිබීම අත්‍යවශ්‍ය සාධකයන්වන අතර, ඔවුන්ට වීසා නිකුත් කරනු ලබන්නේ කම්කරු වෙළඳපොලේ අවශ්‍යතා අනුවය.

ක්ෂණික ආහාර නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් විදේශිකයන්ට වීසා බලපත් නිකුත්කිරීම අත්හිටුවන බව ඕස්ට්‍රේලියාව පසුගිය මාසයේ නිඔවේදනය කළේය.

-බීබීසි-

Rate this item
(0 votes)