April 24, 2024

උ.කොරියාවේ මිසයිල අත්හදාබැලීමක් වරදී

කොරියානු අර්ධද්වීපයේ උණුසුම් තත්වයක් යළි නැග එමින් පැවතී අවස්ථාවේ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වූ බව දකුණු කොරියානු මෙන්ම ඇමෙරිකානු හමුදා නිලධාරීහු පවසති.

මිසයිලය මුදා හැර තත්පර කිහිපයකදී පුපුරා ගිය බව ඇමෙරිකාව පැවසීය.

ඊට පැය කිහිපයකට පෙර උතුරු කොරියාවේ පැවති විශාල හමුදා සංදර්ශනයකදී දිගු දුර විදිය හැකි යැයි සැළකෙන බැලිස්ටික් මිසයිලද ප්‍රදර්ශනය කෙරිණි.

එක්සත් ජාතීන්ගේ යෝජනාද බිඳ දමමින් උතුරු කොරියාව මේ වනවිට න්‍යෂ්ටික පරීක්ෂණ පහක් මෙන්ම මිසයිල අත්හදා බැලීම් රැසක් ද ක්‍රියාත්මක කර ඇත.

කෙසේවෙතත්, අලුත්ම මිසයිල අත්හදා බැලීම අසාර්ථකවීම වාර්තාවූයේ ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවේ මිසයිල වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියාවට පැමිණෙද්දීය.

"උතුරු කොරියාවේ සින්පෝ ප්‍රදේශයේ සිට හඳුනා නොගත් මිසයිලයක් අත්හදා බලන්නට එරට උත්සාහ දැරුවා" යැයි පැවසු දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (16 ) දැරූ එම උත්සාහය අසාර්ථක වූ බවත් ඒ පිළිබඳව විමර්ශනය කරන බවත් සඳහන් කළේය.

එම අසාර්ථක මිසයිල අත්හදා බැලීම තහවුරු කළ ඇමෙරිකානු ශාන්තිකර කලාපීය විධානය, තමන් එම මිසයිල විදීම හඳුනාගත් අතර එය උතුරු කොරියානු බැලිස්ටික් මිසයිලයක් විය හැකි හැකි බව සඳහන් කළේය.

නම හෙළි නොකළ ඇමෙරිකානු නිලධාරියකු කියා සිටියේ එම මිසයිලය අන්තර් මහාද්වීපික මිසයිලයක් නොවිය හැකි නමුත් ඒ පිළිබඳ විමර්ශනය කරන බවය.

උතුරු කොරියානු නායකයා තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට අණ දෙනු ඇතැයි මත පළවී තිබු අවස්ථාවක පසුගිය සෙනසුරාදා (14) සිය යුද ශක්තිය පෙන්වමින් එරට සමාරම්භක ජනාධිපති කිම් ඉල් සුං ගේ 105 වෙනි ජන්ම දිනය සමරුවේ දැවැන්ත හමුදා පෙළපාලියක් ද සමගිනි.

"ඊයේ පැවති හමුදා පෙළපාලියේදී විවිධ වර්ගයේ ප්‍රහාරක මිසයිල ප්‍රදර්ශනය කළ උතුරු කොරියාව අද බැලිස්ටික් මිසයිලයක් විදීමට තරම් නිර්භීත බවක් පළකිරීමෙන් ලොවටම තර්ජනයක් බව පෙන්වා දෙනවා." යැයි නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය පැවසීය.

කොරියානු අර්ධද්වීපයේ උණුසුම් තත්වය තවත් ඉහළ නංවන්නට හේතුවූ කරුණක් වුයේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් එම කලාපය වෙත යැවීමත් සමගිනි.

 

-බීබීසි-

 

Rate this item
(0 votes)