April 19, 2024

ඊජිප්තුවේ හදිසි නීතිය

තුන් මසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඊජිප්තුව තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි විසින් මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පෙරේදා (09) කොප්ටික් කිතුනු දේවස්ථාන දෙකකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව ය.

මෙම ප්‍රහාරයට ගොදුරුවීමෙන් යටත්පිරිසෙයින් 44 දෙනෙකුවත් මරණයට පත්විය.

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සහ නිවාස සෝදිසි කිරීමට බලධාරීන්ට බලතල හිමිවනු ඇත.

කෙසේ නමුත් මෙම හදිසි නීතිය ක්‍රියාවට යෙදවීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිවරයාට සහය පළකරන හෙයින් එය ඉතා පහසුවෙන් සම්මතවනු ඇති බවට විශ්වාස කෙරේ.

පෙරේදා සිදුකළ බෝම්බ ප්‍රහාරවල වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාරගෙන තිබේ.

ඊජිප්තු ජනගහනයෙන් 10% ක ප්‍රතිශතයක් වන ක්‍රිස්තියානි භක්තිකයන්ට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය විසින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හරිනු ලැබ තිබුණි.

දේව මෙහෙයක් අතරතුරදී කයිරෝ අගනුවර ක්‍රිස්තියානි පල්ලියකට පසුගිය දෙසැම්බර් මාසයේදී එල්ල කෙරුණු ප්‍රහාරයකින් විසිපස් දෙනෙකු ඝාතනය කෙරුණි.

-බීබීසි සංදේශය-

Rate this item
(0 votes)