April 23, 2024

ට්‍රම්ප් දුක්වෙයි - අමෙරිකාව සිරියාවේ හමුදා කඳවුරකට පහර දෙයි

සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙන් අමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින් පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග පිරිදි සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට අමෙරිකානු යුද නැව්වල සිට ටොම්හෝක් වර්ගයේ කෘස් මිසයිල 50-60 ක් පමණ එල්ල කෙරිණි. රසායනික අවි ප්‍රහාරයට යොදාගත් බව කියන ගුවන් යානා කිහිපයක් එම කඳවුරේ තිබි ඇත.

“රසායනික අවි ප්‍රහාරය එල්ල කරන ලද ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස මම අද නියෝග කළා. ඔවුන් තහනම් කර ඇති රසායනික අවි භාවිත කළ බවට කිසිදු සැකයක් නැහැ. සිරියාව රසායනික අවි සම්මුතියත් කඩ කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනතුරු ඇඟවීම් නොසලකා හැරලා තියෙනවා. සිරියා ජනපති අසාද්ගේ හැසිරීම වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වුණා“ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අමෙරිකානු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇත.

අමෙරිකා ආරක්ෂක බලධාරියකු ප්‍රකාශ කළේ ප්‍රහාරයේදී ඉලක්ක කර ඇත්තේ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථ, ගුවන් යානා හා ඉන්ධන පිරවුම් ස්ථාන බවයි. තවත් නියෝගයක් ලැබෙන තුරු ප්‍රහාර නවතා ඇතැයි ද ඔහු පැවසීය.

සිරියානු ජනපති බසාර් අල් අසාද් මහතාගේ නායකත්වයට එරෙහිව අමෙරිකාව ගත් පළමු සෘජු තීරණය මෙයයි. සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය දරුවන් ඇතුළු මිය ගිය පිරිසගේ ඡායාරූප දැක ට්‍රම්ප් මහතා කනස්සල්ලට පත් වූ බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පැවසී ය.

2014දී හිටපු අමෙරිකානු ජනපති බැරැක් ඔබාමා මහතාගේ නායකත්වය යටතේ අමෙරිකාව සිරියාවේ ඉලක්ක වෙත පහර දුන්නේය. එහිදී ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත පහර දුන් නමුත් රජයේ කඳවුරු වෙත පහර දීමක් නොවිණ.

 

-සීඑන්එන්-

Rate this item
(0 votes)