March 29, 2024

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ඓතිහාසික ලිපිය භාරදේ

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නිල ක්‍රියාදාමය ආරම්භ කරමින් අගමැතිනි තෙරේසා මේ, ලිස්බන් ගිවිසුමේ 50 වැනි වගන්තිය සම්බන්ධ නිල ලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව එම ලිපිය යුරෝපා සංගමය වෙත භාර දී තිබේ.

බ්‍රසල්ස් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ටිම් බැරෝ එම ලිපිය යුරෝපා සංගමය වෙත භාර දුන්නේය. මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් බව අගමැතිනිය පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළාය.

මේ සමගම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ සාකච්ඡා ආරම්භ කිරීමේ දෙවසරක නිල කාලය ඇරඹේ.

ලිස්බන් සම්මුතියේ 50 වැනි වගන්තිය යනු යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන ඕනෑම රටකට අදාළ ක්‍රියා සැළසුම ලෙස සැලකිය හැකිය. ලිස්බන් සම්මුතියේ කොටසක් ලෙස සංගමයේ සියලුම රටවල් අත්සන් කළ එම එකඟතාවය නීතියක් බවට පත්වූයේ 2009 වසරේදීය.

එයට පෙර යම් රටක් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් නොවීය. ුඑය ඉතා කෙටි පැහැදිළි කිරීමකි. පරිච්ඡේද පහකින් යුතු 50 වැනි වගන්තියට අනුව ඉවත්වීමට තීරණය කළ යුරෝපා සංගම් සාමාජිකයා තමන් ඉවත්වීමට තීරණය කළ බව යුරෝපා කවුන්සිලයට දැනුම්දිය යුතුය.

ඉන් අනතුරුව ඒ සඳහා එකඟතාවකට පැමිණීමට දෙවසරක කාලයක් හිමි වේ. (සෙසු සියළු රටවල් එකඟවන්නේ නම් මෙම වසර දෙකක කාලය දීර්ඝ කළ හැකිය). ඉන්පසු ඉවත්වීම පිළිබඳව වුව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ රැස්වීම් වලට සහභාගීවීමට අදාළ රටට අවස්ථාව නොලැබේ.

සංගමයෙන් ඉවත්වීම සඳහා සුදුසුකම් ලත් වැඩිදෙනාගේ (යුරෝපා සංගමයේ ඉතිරි රටවල් 27ට අයත් 72% ක් හෝ ජනගහනයෙන් 65%ක්) අනුමැතිය ලැබිය යුතු අතර යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ අනුමැතියද ලබාගත යුතුවේ.

50 වැනි 'වගන්තියේ' පස් වැනි පරිච්චේදයට අනුව කිසියම් රටක් සංගමයෙන් ඉවත්වී සිට යළි සම්බන්ධවීමට අදහස් කරන්නේ නම් එය 49 වැනි වගන්තියේ ප්‍රකාරව සිදුවේ.

මෙම 50 වැනි වගන්තිය ලියන ලද්දේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයේ ස්වාධීන සාමාජිකයෙකු වූ කර් සාමිවරයා (Lord Kerr) විසිනි. සාමාජික රටක සිදුවන කුමන්ත්‍රනයකදී හැර බ්‍රිතාන්‍යයේ ඉවත්වීම සඳහා 50 වැනි වගන්තිය යොදාගනු ඇතැයි තමන් කිසිසේත් නොසිතූ බව ඔහු පවසයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව ජනමත විචාරණයකින් තීරණය වූයේ 2016 වසරේ ජූනි මාසයේදීය. ඒඅනුව යුරෝපා කවුන්සිලයට එය දැනුම්දීම සිදුවන්නේ රජය එසේ කළ යුතු බව තීරණය කිරීමෙන් පසුවය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ 2017 වසරේ මාර්තු මස අගදී එය සිදුකරන බවය. බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාවයන් පිළිබඳව එකඟතාවයකට පැමිණෙන තුරු ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසියක් නොතිබුණු බව අගමැතිනිය පැවසීය.

 

-බීබීසි සංදේශය-

 

Rate this item
(0 votes)