March 28, 2024

ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක්?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් ධවල මන්දිරයේ කාර්යාලයක් සැපයෙනු ඇති බව එහි පරිපාලන නිලධාරීහු පවසති.

අමෙරිකානු ජනපතිගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කරන ධවල මන්දිරයේ බටහිර කාර්යාල සංකීර්ණයේ ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් කාර්යාලයක් වෙන් කරනු ඇති නමුත් ඇයට රජයේ තනතුරක් හෝ වැටුපක් හිමි නොවන බව ඔවුහු පවසති.

ධවල මන්දිර පරිපාලන නිලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ වන විට තිස් පස් වෙනි වියේ පසුවන ඉවන්කා ට්‍රම්ප්ට රජයේ රහස්‍ය තොරතුරුවලට ප්‍රවේශ වීමට පවා අවසර ලබා දෙනු ඇති බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දේශපාලනික උපදෙස් සේවා සැපයීම සහ ධවල මන්දිරය තුළ ජනාධිපතිවරයාගේ 'ඇස් සහ කන්' බවට පත් වීම ඇයගේ කාර්ය භාරය වනු ඇත.

අමෙරිකානු විලාසිතා සන්නාමයක හිමිකාරියවන ඉවන්කා ට්‍රම්ප්, මේ වන විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරන සිය සැමියා ජෙරාඩ් කුෂ්නර් හා එක්ව කටයුතු කරනු ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයාට ඉවන්කා ට්‍රම්ප් සහ ඇයගේ සැමියාගෙන් එල්ල වන බලපෑම බැඳියාව පිළිබඳ ගැටුම් ඇතිකරන තත්වයක් බවට පත් වේ දැයි යන්න සම්බන්ධයෙන් ගැටලු මතුවෙමින් පවතී.

මේ අතර ට්‍රම්ප් පවුලේ ව්‍යාපාර සහ අමෙරිකාවේ දේශපාලනික තීරණ ගැනීම අතර සීමා මොනවාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් තිබේද යන්න පිළිබඳ විවාදයක් හටගෙන තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පසුගිය ජනවාරි මාසයේ දිවුරුම් දීමෙන් අනතුරුව යෙදුනු ලෝක නායකයන් හමුවීමේ අවස්ථා කීපයකට ඉවන්කා ට්‍රම්ප් ද සහභාගී වුවාය.

ජර්මානු චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් සහ කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රූඩෝගේ අමෙරිකානු සංචාර ඒ අතර විණි.

-බීබීසි-

 

Rate this item
(0 votes)