April 25, 2024

මෝසුල් අත්හැර නොයන්න! ආත්ම ගෞරවය රැකගෙන මැරෙන තුරු සටන්කරන්න - ISIS පසුබසිමින් කියයි

මෝසුල් නගරයේ ඉතිරිව සිටින සියලුම IS කැරලිකරුවන් නගරය තුළම මිය යනු ඇති බව ඉරාකයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මිත්‍ර හමුදා පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින ඇමරිකානු විශේෂ නියෝජිතවරයා පවසයි.

බ්‍රෙට් මැක්ගර්ග් කියා සිටියේ සිය මිත්‍ර හමුදා සහ ඉරාක රජයේ හමුදාවල අභිප්‍රාය හුදෙක් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ කැරලිකරුවන්ගෙන් තොර මොසුල් නගරයක් සහතික කිරීම පමණක් නොව ඔවුන්ට බේරී පලා යාමට ඇති අවස්ථාව ද අහිමි කිරීම බවය.

මොසුල් නගරයේ බටහිර ප්‍රදේශයේ නගරයෙන් පිට වීමේ මාර්ගය වසා දැමීමට නවවැනි ඉරාක රජයේ හමුදා බල ඇණිය සමත් වීමත් සමග ඇමරිකානු විශේෂ නියෝජිතවරයා එම ප්‍රකාශය කළේය.

ඉරාකයේ තවමත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් බලය අල්ලාගනු ලැබ සිටින විශාලතම නගරය මොසුල් වේ.

කෙසේ වෙතත් පසුගිය මාස පහක කාලය තුළ ඇමරිකානු නායකත්වය යටතේ ඉරාකයේ සටන් වදින මිත්‍ර හමුදාවල ගුවන් සහය ද ඇතිව ඉරාක රජයේ හමුදා මෝසුල් නගරයේ සිටි ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සටන්කරුවන් විශාල ප්‍රමාණයක් පලවාහැර ප්‍රදේශ රැසක බලය නැවත තහවුරු කර ගැනීමට සමත් විය.

ඒ අනුව මේ වන විට ඉරාක හමුදා නැගෙනහිර මොසුල්හි බලය තහවුරු කරගෙන සිටින අතර පෙබරවාරි මැද භාගයේ සිට දියත් කළ මෙහෙයුම් හරහා නගරයේ බටහිර ප්‍රදේශ කීපයක ද බලය අල්ලා ගැනීමට සමත්ව සිටිති.

"මොසුල් නිදහස් කර ගැනීමේ පරමාර්ථය සාර්ථක කර ගැනීමට ඉතාමත් කිට්ටුවෙන් අපි ඉන්නේ. නමුත් මෝසුල් ජය ගන්නට අපට මුහුණ දෙන්න වෙන සටනත් ඉතාමත් අසීරු තත්වයකට පත්වෙමින් තිබෙනවා." ඉරාකයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මිත්‍ර හමුදා පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින ඇමරිකානු විශේෂ නියෝජිත බ්‍රෙට් මැක්ගර්ග් පසුගිය ඉරිදා මෝසුල් මෙහෙයුමේ තත්වය මාධ්‍ය වෙත විස්තර කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෝසුල් නගරයේ නැවත බලය අල්ලා ගැනීමට ඉතා අපහසු වනු ඇති බවට තක්සේරු කර තිබූ ඇතැම් ප්‍රදේශවල බලය තහවුරුකර ගැනීමට ඉරාක රජයේ හමුදා සමත්ව ඇති බවය.

"ඉරාක රජයේ හමුදා මේ මෙහෙයුම ඉදිරියට ගෙනියන්නේ මරාගෙන මැරෙන කැරලිකරුවන් සාමාන්‍ය වැසියන්ව මිනිස් පලිහක් වශයෙන් යොදා ගනිමින් සිටින වාතාවරණයකයි." නියෝජිතවරයා මාධ්‍ය වෙත පැවසීය.

පසුගිය සතිය වන විට මෝසුල් සහ තාල් අෆාර් යන නගර දෙකේම ඉස්ලාම් රාජ්‍ය කැරලිකරුවන් දෙදහස් පන්සීයකට අඩු ප්‍රමාණයක් ඉතිරිව සිටි බව ඇමරිකානු ආරක්ෂක බලධාරියෙකු බීබීසිය සමග කියා සිටියේය.

ඉරාක රජය විසින් මෝසුල් සටන අරඹා දින කීපයකින් පසු නිවේදනයක් නිකුත් කළ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ නායක අබූ බක්රාල් බාග්දාදී, මොසුල් හි සිටින සිය සංවිධාන සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ මියයන තුරු නගරයේ රැඳී සිටිමින් සටන් වදින ලෙසය.

"මෝසුල් අත්හැර නොයන්න! ආත්ම ගෞරවය රැකගෙන මැරෙන තුරු සටන් කිරීම දස දහස් ගුණයකින් වටිනවා ලැජ්ජාවෙන් නගරය අත්හැර පලා යනවාට වැඩියෙන්!" IS නායකයා සිය නිවේදනයේ සඳහන් කළේය.

රජයේ හමුදා සහ මිත්‍ර හමුදා කණ්ඩායම් මෝසුල් නගරය වැටලීමට පෙර නගරයෙන් පලා ගිය බව සැක කෙරෙන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ නායක අබූ බක්රාල් බාග්දාදී තවමත් ජීවතුන් අතර සිටින බව විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් මෝසුල්හි තවමත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල ලක්ෂ හයකට අධික සිවිල් වැසියන් ප්‍රමාණයක් සිරවී සිටින බවට විශ්වාස කෙරෙන අතර පසුගිය සති දෙකක කාලය තුළ පමණක් මොසුල් වෙතින් පලාගිය සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව හැට පන්දහසකි.

BBC

 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 March 2017 09:28