March 29, 2024

තුර්කි විදේශ ඇමතිට නෙදර්ලන්තයෙන් තහනමක්

ලබන මාසයේ පැවැත්වෙන තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳවූ ජනමත විචාරණයේ ප්‍රචාරක කටයුතු සඳහා තුර්කි විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම නෙදර්ලන්තය විසින් තහනම් කරනු ලැබ ඇත.

නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලත් කව්සෝග්ලුට ලබාදී තිබුණු රටට පිවිසීමේ අයිතිය කැබිනට් මණ්ඩලය ඉවතදැමූ බවය.

තම විදේශ අමාත්‍යවරයාගේ සංචාරයට බාධා කරන්නේ නම් සම්බාධක පනවන බවට තර්ජනය කරමින් තුර්කිය විසින් මේ ගැටලුවට විසඳුම් අපේක්ෂා කිරීම සාර්ථක නොවන බව නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.

තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලත් කව්සෝග්ලු මින් පෙර පවසා තිබුණේ රෝට්‍රදෑම් නගරයේ බලධාරීන් අවසර ලබා නොදුන්නද තමා එහි යාමට අපේක්ෂා කරන බවය.

මේ අතර යුරෝපයේ නගර කිහිපයක සැලසුම් කර ඇති රැළි සඳහා තුර්කි අමාත්‍යවරුන්ගේ සහභාගීවීම එම නගරවල බලධාරීන් විසින් තහනම් කරනු ලැබ ඇත.

තුර්කි ජනාධිපතිවරයාගේ බලය වැඩි කිරීම පිණිස ගෙන එන යෝජිත නව ව්‍යවස්ථා සංශෝධන සඳහා ජර්මනියේ සහ නෙදර්ලන්තයේ වෙසෙන තුර්කි පුරවැසියන්ගේ සහයෝගය ලබාගැනීම එම රැළි මගින් අපේක්ෂා කෙරේ.

තුර්කි ජනාධිපති රෙචීප් තයියප් එර්දොවාන් විවේචනය කරන්නන් පවසන්නේ එම සංශෝධන මගින් ඔහු සතු අධිකාරී බලය වැඩි කෙරෙන බවය.

Rate this item
(0 votes)