March 29, 2024

අමෙරිකානු නීතිපතිට බලපෑම්

ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර ඇමරිකාවේ නීතිපතිවරයාවන ජෙෆ් සෙෂන් සහ රුසියානු නිලධාරීන් අතර සම්බන්ධතා පැවති බව අනාවරණය වීමත් සමග ඔහු වෙත එල්ලවන පීඩනය වැඩිවෙමින් පවතී.

එහෙත් කිසිදු දේශපාලනමය වැඩසටහනක් සඳහා රුසියානු නිලධාරීන් හමු නොවූ බව නීතිපතිවරයා පවසයි.

MSNBC මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමා සහ රුසියානු නිලධාරීන් අතර හමුව පිලිබඳ පළවන වාර්තා අසත්‍ය බවය.

එසේම ජනාධිපති ට්‍රම්ප් ගේ දේශපාලන ව්‍යාපාරය සහ මොස්කව් අතර පැවති සබඳතා පිලිබඳව පැවැත්වෙන පරීක්‍ෂණ වලින් මිදී සිටීමේ උත්සාහයක ඔහු නිරත වෙයි.

ජනවාරි මාසයේ දී නීතිපති ජෙෆ් සෙෂන් සෙනෙට් සභාවේ සාක්‍ෂි විමසීමක දී කියා සිටියේ ජනාධිපතිවරණ සමයේ තමා සහ රුසියානු නිලධාරීන් අතර සබඳතාවක් නොපැවති බවය.

නීතිපතිවරයා අසත්‍ය ප්‍රකාශ කරන බව ඩිමොක්‍රටික් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මේ අතර පවසති.

එම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙක් වන ජිම් හිම්ස් පවසන්නේ නීතිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවය.

"පැහැදිලිවම නීතිපතිවරයා සාක්‍ෂි ලබාදුන්නේ අවංකව නොවෙයි. ඒක අපි සැලකිල්ලට ගත යුතු ඉතා බරපතල කාරණයක්. මම කැමතියි ඔහු සහ රුසියානු නිලධාරීන් අතර පැවති සංවාදයේ දී ඔහු කිව්වෙ මොනවද කියල දැනගන්න. ඔහු සක්ෂි ලබාදීමෙදී හිතාමතාම අසත්‍ය ප්‍රකාශ කරලා තියනව නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි" ජිම් හිම්ස් කියාසිටියි.

රටේ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන නිලධාරියාට හිතාමතා අසත්‍ය ප්‍රකාශ කළ නොහැකි බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)