April 24, 2024

පිලිපීනයේ පිඹුරු සම්බාහන

ඔබට මානසික ආතතිය ඇති මොහොතක සිරුර සම්බාහනය කර ගැනීමෙන් අති මහත් මානසික සුවයක් ලබාගත හැකිය. එහෙත් අමුතු සම්බාහන ක්‍රමයක් පිලිපීන සත්වෝද්‍යානයක දැක ගත හැකිය. ඒ පිඹුරන් ලවා සම්බාහනය කර ගැනීමයි. පිලිපීනයේ සේබු නගරයේ සත්වෝද්‍යානයට පැමිණෙන අය අතර මෙම අමුතුම සම්බාහනය මහත් සේ ජනප්‍රිය වී ඇත.සත්වෝද්‍යානයට ඇතුළුවීම සඳහා ඩොලර් 0.50 ක් ගෙවිය යුතුය. ඔබ විසින් කළ යුතුව ඇත්තේ පැදුරක වැතිර ගැනීමයි. එවිට මිෂෙල්, වෝල්ටර්, ඊජේ හා ඩැනියල් යන නම්වලින් හඳුන්වනු ලබන දැවැන්ත බුරුම පිඹුරන් සිවුදෙනා ඔබගේ සිරුර මත තබනු ඇත. එවිට මේ පිඹුරන් ඔබ සිරුර වෙලා ගනිති. 

ඔවුන් ඔබගේ සිරුර වෙලාගෙන ඒ මේ අතරට මිරිකමින් ඔබට සම්බාහනය කරනු ඇත. මෙහිදී එක් අවවාදයක් දිය යුතුය. කථා කිරීම හෝ බියෙන් කෑගැසීම නොකළ යුතුය. සමහර විට ඔබට කෑගැසීමට ද නොහැකි විය හැකිය. මුළු බර රාත්තල් 550 බර මෙම පිඹුරන් සිවුදෙනා ඔබගේ සිරුර තදින් වෙලාගෙන සිටීම නිසා ඔබට කළ හැක්කේ එම සම්බාහනයෙන් සුවයක් ලබා ගැනීම පමණි.සතුන් වත්තේ කළමනාකාර ජියොවානි රොමරටෙ පවසන අන්දමට මේ සම්බාහනය පටන් ගන්නා විට තරමක බියක් ඇතිවන නමුත් පසුව මඳ වේලාවක් යන විට එය සුවයක් බව එය විඳින අයට දැනෙනු ඇත.සම්බාහනය විඳින අය ගිල දැමීම වැළැක්වීමට එම පිඹුරන්ට සම්බාහනට පෙර කුකුල් පැටවුන් 10 දෙනෙකු පමණ ගිල දැමීමට දෙන බව ජිවොවානි වැඩිදුරටත් පැවැසීය.

මිනිත්තු 15 ක කාලයකට සීමා වන මේ සම්බාහනය කරන විට ‘අනේ මාව බේර ගනියෝ’ යනුවෙන් බෙරිහන් දීම තහනම් වේ. එසේම එම පිඹුරන් ගෙන් බේරීම සඳහා ඔවුන් ඉවත් කිරීමට තැත් කිරීම ද නොකළ යුතුය. එම අපුර්ව සම්බාහනයෙන් මානසික ආතතියට සහනයක් ලබා ගත හැකි බව ද පැවැසේ.

(සුදේශ් කරුණාතිලක)

Rate this item
(0 votes)