April 20, 2024

බල්ලන් මරාගෙන කන කාලය ඇරඹේ

දකුණු චීනයේ ගුආන්ෂි පළාතේ යූලින් වැසියෝ මේ දිනවල ඔවුන්ගේ වාර්ෂික චාරිත්‍රානුකූල උත්සවයකට ලක ලැහැස්ති වෙති. සෑම වසරකම ජුනි මස 21 වැනිදා ට එළඹෙන ග්‍රීෂ්ම ඍතු සූර්ය නිවෘත්ති දිනයේදී ඔව්හූ සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනාවක සිට චාරිත්‍රයක් ලෙස සිදු කරති. මේ චාරිත්‍රානුකූල උත්සවය වෙනුවෙන් ගුආන්ෂි පළාතේ සුනඛයන් දහස් ගණනක් ඝාතනය කෙරෙන අතර එනිසාම ඊට විරුද්ධව දැන් චීන ජනතාව අතරින්ම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

පුරාණයේ සිට පැවැත එන මේ චාරිත්‍රයේදී එක් දිනක් වෙනුවෙන් සුනඛයන් 10000 ක් පමණ ඝාතනය වෙතැයි වාර්තා වේ. යූලින් වැසියන් සුනඛ ඝාතනයට ලක ලැහැස්ති වෙද්දී සත්ව හිංසනය පිටුදකින්නෝ ඊට එරෙහිව හඬ නැඟීමට දැන් සිටම ලක ලැහැස්ති වෙති.

සුනඛ මස් අනුභව කිරීමේ මේ වාර්ෂික උත්සවයේදී යූලින් වැසියෝ විවිධ ක්‍රමවලට පිසූ සුනඛ මස් ඉතා විශාල වශයෙන් ලිචී නමැති පලතුරු වර්ගය සහ ධාන්‍ය වර්ගවලින් පෙරූ සැර මත්පැන් සමඟ ආහාරයට ගනිති. සත්ව හිංසනය පිටු දකින්නන් වසර ගණනක සිට මේ චාරිත්‍රයට විරුද්ධව හඬ නැඟුවත් යූලින් වාසී බොහෝ දෙනා මේ සුනඛ මස් අනුභව කිරීමේ සංස්කෘතිය දිගටම පවත්වා ගෙන යෑමට උත්සාහ කරති.

ඔව්හූ උත්සවය සඳහා සුනඛයන් ඝාතනය කිරීමට විදුලිය සැර වැද්දීම ද සිදු කරති. ඉන්පසු සුනඛයන් පුලුස්සා හම ගසා ආහාරය සඳහා සකසති. උත්සව සමයේ දී යූලින් නගරය පුරා වීදි දෙපස ද මස් කඩවල ද මැරූ බල්ලන් ගොඩ ගසා තිබෙනු දැකිය හැකි අතර හම ගසා කොකුවල එල්ලූ සුනඛයන් විකිණීම සඳහා තිබීම ද සුලභ දසුනකි.

ඉතා ම්ලේච්ඡ වූ මේ චාරිත්‍රයට විරුද්ධව එන්න එන්නම චීනයේ අනෙකුත් පළාත්වලින් දැඩි විරෝධතා එල්ල වන අතර අන්තර්ජාලය හරහා ද ඊට විරෝධතා එල්ල වී තිබේ. ඊට අමතරව වීදි ඝෝෂා, පත්‍රිකා බෙදාහැරීම් සහ සුනඛ මස් අලෙවිකරන වෙළෙඳ සල් ඉදිරිපිට දණින් වැටී ආයාචනා කරමින් ද මේ චාරිත්‍රය පිටු දකින ලෙස ඉල්ලීම් කෙරේ.

චීනයේ සමහරු මේ චාරිත්‍රය පිටුදැකීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලමින් ඇමෙරිකාවට හා එංගලන්තයට ද අන්තර් ජාලය හරහා ලිපි යවා තිබේ.

“ඔවුන් සුනඛයන් ඝාතනය කරන්නේ ඉතාමත් ම්ලේච්ඡ අන්දමින්. ඇතැම් විට හම ගසද්දීත් පුලුස්සද්දීත් සුනඛයාගේ ප්‍රාණය මුළුමනින්ම නිරුද්ධ වී නැහැ. මෙය ඉතාමත් ම අමානුෂිකයි. ම්ලේච්ඡයි.” යනුවෙන් මේ චාරිත්‍රයට විරුද්ධව හඬ නඟන්නෝ පවසති.

චීන ජාතිකයන් මේ චාරිත්‍රය නැවැත්වීම සඳහා මැදහත් වන ලෙස ඉල්ලා ඇමරිකානු ජනාධිපති ඔබාමා ට යැවීමට අත්සන් ලක්ෂයකින් යුත් පෙත්සමක් අත්සන් කිරීමට උත්සාහ කර ඇතත් අත්සන් ලක්ෂය එකතු කර ගැනීමට නොහැකි වීම නිසා එම ප්‍රයත්නය අත්හැර දමා තිබේ.

හොංකොං මූලස්ථාන කරගත් සත්ව අයිතීන් සුරකින සංගමයකට අනුව මෙසේ ඝාතනය කෙරෙන බොහෝ සතුන් දඩාවතේ යන හෝ පැහැරගත් සුනඛයෝය. එසේ එකතු කරගත් සතුන් ට්‍රක්රථ පිටින් ඉතාම අපිරිසුදුවට නගරයට ගෙන එති. එමඟින් ජලභීතිකාව වැනි රෝග වැලඳීමේ ප්‍රවණතාව ද වැඩිවී තිබේ.

“සොරාගත් සුනඛයන් නිරෝධායන සහතික නොමැතිව ඉතා කුරිරු ලෙස ඝාතනය කර ඉතා අඩු මුදලට ආපන ශාලාවලට විකුණනවා” යැයි සත්ව අයිතීන් සුරකින්නෝ චෝදනා කරති.

එසේ වුවද, යුලින් නගර බලධාරීන් පවසන්නේ මේ සඳහා සුනඛයන් සපයා ගන්නේ ගොවිපොළ මගින් බවයි.

කෙසේ වුවද එක් දිනක් සඳහා මෙලෙස සුනඛයන් ඝාතනය වීම ගැන දැඩි විරෝධතා එල්ල වුවත් යුලින් වැසියෝ මඟ දිග ආපන ශාලාවල හෝ නිවෙස්වල සිට සුනඛ මස් බුදීමට දැඩි ප්‍රියතාවක් දක්වති.

චීන්නු සුනඛ මස් සීත කාලය සඳහා ඉතා හොඳ පෝෂණයෙන් යුතු ආහාරයක් ලෙස සලකති. එසේම වාජීකරණ ගුණයෙන් යුතුයැයි පැවසෙන සුනඛ මස් චීන වෛද්‍යවරු ඇතැම් ලෙඩ රෝග නිවාරණය සඳහා ද නියම කරති.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 June 2014 16:02