April 18, 2024

රජයේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් මහජන බැංකුව සුවිශේෂී ණය සැලසුම් රැසක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නඟා සිටුවීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් කොටස්කරුවෙකු වීම සහ රටේ ජනතාවට තමන්ගේ ජනජීවිතය නැවත සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය මුල්‍ය සහය ලබාදීම වෙනුවෙන් මහජනතාවගේ බැංකුව වූ මහජන බැංකුව ඉදිරියට පැමිණෙයි.

කොවිඞ්-19 වසංගතය ව්‍යාප්තවීමෙන් ඇතිවූ අනපේක්ෂිත බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි තර්ජනයක් එල්ලවිය. එසේම මෙම මාරාන්තික වෛරසයේ ව්‍යාප්තිය නැති කිරීම උදෙසා 2020 මාර්තු 16වැනිදා සිට මුළු රටම ලොක්ඩවුන් ක්‍රියාවලියකට අවතීර්ණ වීම හේතුවෙන් රටේ ආර්ථික ගමන යම් අඩාල වීමක් සිදුවිණි. මේ නිසා කෘෂිකාර්මික, ධීවර, පශු සම්පත්, ඉදිකිරීම්, වෙනත් බෝග වගාවන් ඇතුළු ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත, අධ්‍යපනය සහ තවත් බොහෝ ක්ෂේත්‍රයන් දැඩි බලපෑමකට ලක්විය.

මෙවන් අනපේක්ෂිත තත්ත්වයක දී බලපෑමට ලක්වූ සියලු ක්ෂේත්‍රවල වේගවත් ආර්ථික පුනරාගමනයක් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය මුල්‍ය විසඳුම් ඉදිරිපත් කර අදාළ සහය ලබාදීමේ වගකීම සිය උරමතට ගැනීමට මහජන බැංකුව ඉදිරිපත්විය. වත්මන් රජයේ පැහැදිලි මාර්ගෝපදේශනය සහ නිවැරදි නිර්දේශයන් අනූව යමින් දැඩි බලපෑමකට ලක්වූ ක්ෂේත්‍ර ගණනාවකට මුල්‍ය දිරියක් වීම සඳහා බොහෝ ණය පහසුකම් වලට තනි ඉලක්කමේ විශේෂ පොලී අනුපාතයක් සහිත නව ණය සැලසුම් රැසක් හඳුන්වාදීමට මහජන බැංකුවේ සභාපතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

ඉඩමක් මිලදී ගැනීමට, නව නිවසක් තැනීමට, නිවස අලුත්වැඩියා කිරීමට, වාහනයක් මිලදී ගැනීමට, උසස් අධ්‍යපන අවස්ථා ලබාගැනීමට සහ සිය ජීවන පැවැත්ම ඉහළ නැංවා ගැනීමේ නොයෙක් උවමනා සහිත අවුරුදු 18ත් 40ත් අතර තරුණ වෘත්තීයවේදීන් වෙනුවෙන් මුල්‍ය පහසුකම් ලබාදීමට මෙම “තරුණ වෘත්තීයවේදීන් සඳහා වූ විශේෂ මුල්‍ය සහන පැකේජය” හඳුන්වාදී තිබේ. වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශූ වෛද්‍ය, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පී, ගණකාධිකාරී, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්/ මෘදුකාංග ඉංජිනේරුවන් ආදී ක්ෂේත්‍රයන්ගේ නියැළෙන වෘත්තීයවේදීන් මෙම ණය පහසුකම් ලබාගැනීමට සුදුසුකම් ලබයි.

“රජයේ වෛද්‍ය නිලධාරීන්/රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් සඳහා වූ විශේෂ ණය සැලසුම” හඳුන්වා දී තිබෙන්නේ කොවිඞ්-19 වසංගතය රටපුරා ව්‍යාප්තවීම වළක්වාගැනීම වෙනුවෙන් දිවා රාත්‍රීයේ සිය ජීවිතය පිළිබඳව ද නොතකා වෙහෙසුනු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අප්‍රමාණ කැපකිරීමට අපේ ගෞරවනීය ප්‍රසංශාව පුද කිරීමක් ලෙසය. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය උපදේශකයන්, වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, හෙද හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කාර්ය මණ්ඩලය මෙම ණය සැලසුම ලබාගැනීමට සුදුසුකම් ලබයි.

මහජන බැංකුව විසින් “ගුරුසෙත” ණය යෝජනාවලියේ නැවත ගෙවීම් සඳහා මුල්‍ය සහය ලබාදීම සහ ණය මුදල වැඩිකිරීමේ පහසුකම් ලබාදීම ආදී වූ විවිධ ණය පහසුකම් ගුරුවරුන් වෙනුවෙන් හඳුන්වාදී ඇත. එම සැලසුම්වලට අනූව රජයේ පාසල්වල සිටින ස්ථිර ගුරුවරුන්, රජයේ තාක්ෂණික විද්‍යාලවල සිටින ගුරුවරුන්, පිරිවෙන් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන් මෙන්ම ස්ථීර ගුරු මණ්ඩලයේ සේවය කරන සීමාවාසික ගුරුවරුන්ට ද මෙම මුල්‍ය සහනය තුළින් ප්‍රතිලාභ හිමිවේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඊ-ලර්නින් (ැ-කැ්රබසබට) අවකාශය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ගුරුවරු වෙනුවෙන් ලැප්ටොප්/පෞද්ගලික පරිගණක/ටැබල්ට් ලබාගැනීමට ණය සැලසුමක් මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇත. රජයේ පාසල්වල සිටින ස්ථිර ගුරුවරුන්, පිරිවෙන් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන්, රජයේ තාක්ෂණික විද්‍යාලවල සිටින ගුරුවරුන් සහ පැවිදි ස්වාමීණ් වහන්සේලා මෙම ණය සැලසුමෙන් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ කාණ්ඩය වේ. මීට සමගාමීව කොවිඞ්-19 වසංගතය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසා දැමීම් හේතුවෙන් ඉදිරි අධ්‍යාපනික කටයුතු අන්තර්ජාල අධ්‍යාපනික අවකාශයන් ඔස්සේ කරගෙන යාමේ අවස්ථාව ගුණාත්මකව වැඩිදියුණු කිරීම දිරිගැන්වීමට වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ අංශ වලින් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂකයන් ද මෙම ලැප්ටොප්/පෞද්ගලික පරිගණක/ටැබල්ට් ලබාගැනීමේ ණය සැලසුම හඳුන්වාදී තිබේ. මෙම ණය සැලසුම හරහා රජයේ විශ්ව විද්‍යාවල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචිව ඇති විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනික ආයතනවල සිටින සියලු සිසුන් මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් හඳුනාගෙන ඇති උසස් අධ්‍යාපන ආයතනවල සිටින සිසුන්ට ද මෙම ලැප්ටොප්/පෞද්ගලික පරිගණක/ටැබල්ට් ලබාගැනීමේ ප්‍රතිලාභ හිමිකර ගත හැක.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති සියලු විශ්ව විද්‍යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ද මහජන බැංකුව විසින් විශේෂ ණය යෝජනාවලියක් හඳුන්වා දී තිබේ. මෙම ණය යෝජනාවලිය හරහා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, සහකාර මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන්, විශ්ව විද්‍යාල වෛද්‍ය නිලධාරීන්, කතිකාචාර්යවරුන්, සහය කතිකාචාර්යවරුන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමත ලේකම්වරුන්, ලේඛණ භාර නිලධාරීන්/අතිරේක ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන්, මුදල් භාරකරුවන්, උප/ජ්‍යෙෂ්ඨ සහයක/සහයකයන්, මුදල් භාරකරුවන්/ලේඛණ භාර නිලධාරීන්, නේවාසිකාගාර පාලකයන්, සුපරීක්ෂකයන් සහ ප්‍රාථමික ශ්‍රේණියේ උප සහ නුපුහුණු කම්කරුවන් ආදී මේ සියලු කාණ්ඩයන් ද වසර 10ක් දක්වා ගෙවීම් සිදුකළ හැකි ණය පහසුකමක් ලබාගැනීමට සුදුසුකම් ලබයි. එසේම මහජන බැංකුව විසින් නීති විනිශ්චය ක්ෂේත්‍රයේ සිටින විනිසුරුවන් වෙනුවෙන් ද වසර 10ක් දක්වා ගෙවීම් සිදුකළ හැකි විශේෂ ණය සැලසුමක් එළිදැක්වීමට කටයුතු කරතිබේ.

මෙම කොවිඞ්-19 වසංගතය නිසා දැඩි බලපෑමක් එල්ල වූ තවත් එක් කාණ්ඩයක් වන්නේ කලාකරුවන්ය. ඔවුන්ට සහන සැළසීම සඳහා රජයේ උපදෙස් වලට අනුව මහජන බැංකුව විසින් කලා සංගම්වල ලියාපදිංචි සාමාජිකයන් වෙනුවෙන් විශේෂ ණය සැලසුමක් ක්ෂණිකව හඳුන්වාදෙනු ලැබීය.

ශාඛා 737කින් සුසැදි දිවයින පුරා විසිරි සිය සේවා ජාලයේ ඕනෑම ශාඛාවක් හරහා මේ ණය සැලසුම්වලට අදාළ ණය මුදල් ලබාගැනීමේ පහසුකම් සළසා දීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර ඔබේ ළඟම මහජන බැංකු ශාඛාවේ කළමනාකරු හමුවීමෙන් ලබාගත හැක.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2020 13:26