April 25, 2024

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ජංගම ATM පහසුකම දැන් ඔබේ ළඟටම

පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව බස්නාහිර පළාත තුළ ජංගම ATM සේවා දියත් කර ඇත. මෙම සේවාව හරහා නිවසෙන් දිගු දුරක් බැහැරව නොගොස් සිය මූලික බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමටත්, නේෂන්ස් ජංගම බැංකුකරණ සේවාවට සහ අන්තර්ජාල බැංකුකරණ සේවාවට ලියාපදිංචි වීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ.

නේෂන්ස් ජංගම ATM සේවාව, පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා ක්‍රියාත්මක කෙරේ. එම කාලය තුළ මහල් නිවාස සංකීර්ණ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු යොදා ඇත. LankaPay සේවා පහසුකමින් යුතු ජාල සහිත අනෙකුත් දේශීය බැංකුවල පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය බැංකු ATM කාඩ්පත් හිමියන්ට ද මෙම සේවාව හරහා රු. 100,000 ක් දක්වා මුදල් ආපසු ලබා ගත හැකිය.

මෙම ජංගම ATM රථයේ ගමන් මාර්ගය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නිල ෆේස්බුක් පිටුවේ (www.facebook.com/nationstrustbank) තිබෙන Link එකක් මගින් දැක ගත හැක. ඒ තුලින් ගනුදෙනුකරුවන්ට රථය පැමිණෙන තුරු අතරමග රැදී සිටීමට සිදු නොවන අතර මෙය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවලබ දීමට ගත පියවරක් ලෙස සැලකිය හැක.

"අපගේ පාරිභෝගිකයන්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, මහජනතාවගේත් ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයි. ජනතාව සිය නිවෙස්වල රැඳී සිටීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් ඔවුන්ගේ අතට මුදල් ලබා ගැනීම ද අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබෙනවා. එම අවශ්‍යතාව මැනවින් හඳුනාගත් අප, නේෂන්ස් ජංගම ATM සේවාව සජීවී සබැඳියක් හරහා තත්කාලීන ස්ථානය දැකගැනීමේ පහසුකම ද සහිතව හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, ජංගම ATM රථයේ ගමන්මග පහසුවෙන් දැක ගැනීමටත්, පෝළිම්වල රැඳීමේ කාලය උපරිම වශයෙන් අවම කර ගැනීමටත් හැකි වනවා," යනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා සඳහන් කළේය.

නේෂන්ස් ජංගම ATM සේවාව සම්බන්ධව ගෙන ඇති ආරක්‍ෂිත ක්‍රමවේද පිළිබඳ අදහස් පළ කරමින් ගුණතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "මෙම සේවාව ලබා දීමේදී සියලු ම සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රමවේද භාවිත කර ඇති බව පාරිභෝගිකයන්ට අප දැනුම් දීමට කැමතියි. අනුපිළිවෙල, ආරක්ෂාව සහ සහයෝගය පවත්වා ගන්නා අතරම පුද්ගල දුරස්ථභාවය දැඩි ලෙස පවත්වා ගැනීමට ද අප කටයුතු කරනවා. සියලු දෙනාගේ භාවිතය සඳහා දෑත් පිරිසිදුකාරක තබා තිබෙනවා. අනාගතයේදී මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට මේවන විට ද සැලසුම් කර තිබෙනවා. අතට මුදල් ලබා ගැනීම දැවැන්ත අභියෝගයක්ව පවතින මෙවන් අවස්ථාවක, නේෂන්ස් ජංගම ATM පහසුකම කාලීන පියවරක් බව අපගේ විශ්වාසයයි" යනුවෙනි.

පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව, සේවාව සහ පහසුව තහවුරු කිරීමේ අරමුණ පෙරදැරිව නේෂන්ස් ට්‍රස්ට් බැංකු කණ්ඩායම මෙම සේවාව දින 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දියත් කිරීමට සමත් වීම ප්‍රශංසනීයය. තවද, ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ තෝරාගත් බැංකු ශාඛා විවෘතව තැබීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කරන අතර, නේෂන්ස් ජංගම බැංකුකරණ සේවාව සහ නේෂන්ස් අන්තර්ජාල බැංකුකරණ සේවාව වැනි ඩිජිටල් සේවා හරහා සිය බැංකුකරණ සේවා ඉටුකර ගන්නා ලෙස එම බැංකුව නිර්දේශ කරයි.

‘Business Today’ සඟරාව මගින් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප‍්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi හඳුන්වා දෙන ලද්දේ ද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 96 ක් විවෘත කර ඇති අතර ATM යන්ත‍්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත‍්‍ර 48 ක්ද ස්ථාපිත කර ඇති අතර LankaPay  ජාලය ඔස්සේ තවත් ATM යන්ත‍්‍ර 3,700 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.

Rate this item
(0 votes)