April 20, 2024

මහජන බැංකුවේ ජංගම බැංකු සේවාව ගම්පහට

කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති ඇදිරි නීතිය නිසා බැංකු ශාඛාවන් වෙත යා නොහැකි ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුව සිය ජංගම බැංකුකරණ සේවාව දියත් කරයි. ඒ අනුව මෙහි එක් පියවරක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක කි‍්‍රයාත්මක වූ අතර, විශාල ගනුදෙනුකරුවන් පිරිසක් මෙහි සේවාව ලබාගත්හ.

කොරෝනා වෛරස තත්වය නිසා රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙමින් මහජන බැංකුව දියත් කළ මෙම ජංගම බැංකුකරණ සේවාව නිසි සෞඛ්‍යාරක්ෂිත කි‍්‍රයාපිළිවෙතක් සමග දියත් විය. මෙම ජංගම බැංකුකරණ ඒකකය තුළ ස්වයංක‍්‍රිය ටෙලර් යන්ත‍්‍රයක් සහ මුදල් තැන්පත් කිරීමේ කවුන්ටරයක් පිහිටුවා තිබේ. එබැවින් ගනුදෙනුකරුවන්ගේ දොරකඩටම එන මෙම ජංගම බැංකුකරණ ඒකකය ඔස්සේ මුදල් ලබාගැනීමේ පහසුකම මෙන්ම තැන්පත් කිරීමේ පහසුකම හිමිවේ.

මේ යටතේ 2020.03.31 වැනි දින යක්කල වික‍්‍රමාරච්චි මාවතේද, 2020.03.30 දින මීරිගමදීද, 2020.03.29 වැනි දින පිහිටි ගම්පහ ඇනිකට් පාර, යක්කල බෝගමුව, මල්වතුහිරිපිටිය, ඉඹුල්ගොඩ යන ප‍්‍රදේශයන්හි මෙම සේවාව කි‍්‍රයාත්මක විය. අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනත් දෙන වැඩපිළිවෙලක් ඇතත් ඒවා මිලදී ගැනීමට අතේ මුදල් නැති තත්වයක් තුළ මහජන බැංකුව ලබාදෙන මෙම සේවාව ජනතාවගේ ඉමහත් ප‍්‍රසාදයට ලක්විය. ඇදිරි නීතිය පවත්නා කාලසීමාවන්හි ගම්පහ දිස්ත‍්‍රික්කයේ සෙසු ප‍්‍රදේශවලද මෙම සේවාව කි‍්‍රයාත්මක වන අතර, දිවයිනේ සෙසු දිස්ත‍්‍රික්කත් ආවරණය වන පරිදි මෙම සේවාව කි‍්‍රයාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.

එමෙන්ම කොවිඞ් 19 වෛරසයෙන් ආරාක්ෂා විය යුතු අන්දම සහ මෙවැනි තත්වයක් තුළ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ සේවාවක් සැපයීම සඳහා මහජන බැංකුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳව තොරතුරු http://www.peoplesbank.lk වෙබ් අඩවියට පිවිසිමෙන් හා අප නිල ෆේස්බුක් පිටුවට පිවිසිමෙන් දැන් ඔබට ලබාගත හැක.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:30