April 20, 2024

දේශිය කිරි කර්මාන්තය නැංවීමට පැල්වත්ත පෙරමුණ ගනියි

දේශිය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන පැල්වත්ත කිරි සමාගම දේශිය කිරි ගොවියා සහ කිරි කර්මාන්තය නැංවීම සඳහා පෙරමුණ ගනියි.   විවිධ වැඩසටහන් රැසක් ඔස්සේ මෙම අරමුණ සාක්ෂාත් කරගනිමින් දේශිය කිරි කර්මාන්තයේ උසස් ප්‍රතිඵල ලබාගැනීමට  පැල්වත්ත කිරි සමාගම අපේක්ෂා කරයි.

මේ අනුව  දිවයින පුරා පිහිටුවා ඇති කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා කිරි ගොවීන්ගෙන් තරඟකාරී මිල ගණන් යටතේ දියර කිරි ලබාගැනීම මෙන්ම කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික ව්‍යවසාය මට්ටම දියුණු කිරීම සඳහා ද පැල්වත්ත කිරි සමාගම මූලිකත්වය ගෙන තිබේ. 

මෙම සාධනීය පියවර පිළිබඳ අදහස් දක්වන පැල්වත්ත කිරී සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සඳහන් කළේ දේශිය කිරි ගොවීන්ගෙන් කිරි මිලදී ගන්නා බොහෝ සමාගම් වර්ෂාව සහිත ශීත කාලවලදී කිරි මිලදී ගැනීම සීමා කරන බවයි. එම කාලවලදී යෝගට් අලෙවිය අඩුවීම  ඊට හේතුව ලෙස දක්වමින් කිරී ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීම  සීමා කරන බව වික්‍රමනායක මහතා සඳහන් කරයි. නමුත් පැල්වත්ත කිරී සමාගම එලෙස දේශගුණයට අනුව කිරි මිලදී ගැනීම් සීමා නොකරන බවත් වසර පුරාවටම කිරී ගොවීන්ගේ කිරි අස්වැන්න අඛණ්ඩව මිලට ගැනීමට කටයුතු කරමින් එම ගොවීන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට සහය දක්වන බවත් වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.

දිවයින පුරා කිරි ගොවීන් 10000ක පමණ ප්‍රමාණයක සංචිතයක් පැල්වත්ත සමාගම සමඟ කටයුතු කරන අතර එම ජාලය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. පැල්වත්ත කිරි සමාගම  ගොවියාගෙන් කිරි මිලදී ගැනීමට පමණක් සීමා නොවී ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා දක්වන උනන්දුව සහ කැපවීම නිසා මෙලෙස දිනෙන් දින එම සමාගම හා එක්වන කිරී ගොවීන්ගේ ප්‍රමාණය ඉහළ යමින් පවතියි.

තවත් සුවිශේෂි කරුණක් වන්නේ පැල්වත්ත කිරී සමාගම දේශිය කිරී ගොවීන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු කිරීම සහ දැනුම බෙදාහදා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමයි. කිරි කර්මාන්තය පිළිබඳ නව දැනුම දේශිය කිරි ගොවීන් වෙත ලබාදීමට පැල්වත්ත කිරි සමාගම පුළුල් වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ ගොවීන්ට ඉතා වැදගත් වන  තණකොල වගා කිරීම සහ ගව ආහාර සැකසීම ආදිය පිළිබඳ මනා පුහුණුවක් ගොවීන් වෙත සපයනු ලබයි. කිරි සපයන ගවයින් සඳහා ලබාදෙන  සමබර අධි ශක්ති ආහාර සහ ඊට අවශ්‍ය  සාධක පිළිබඳ දැනුම හා අවබෝධය ද මෙහිදී ගොවීන් වෙත සපයනු ලබයි.

කිරි කර්මාන්තයේ නවීන තාක්ෂණය පිළිබඳ දේශීය ගොවීන් දැනුවත් කරමින්  අභිජනනය, කිරි සැපයීම, ප්‍රජනනය සහ පශු සම්පත ආදිය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව දියුණු කිරීමට මෙමඟින් අපේක්ෂා කරන  බව ආරියසීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි. තවද මෙම දැනුවත් කිරීම් වලින් පසු  අවම නිෂ්පාදන වියදමක් යටතේ උපරිම ඵලදායිත්වයකින් යුතුව ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමට ගොවීන්ට අවස්ථාව හිමිවන බව ද වික්‍රමනායක මහතා සඳහන් කළේය. මෙහිදී දේශිය කිරිගොවියාගේ අදායම ඉහළ නංවමින් දේශිය කිරි කර්මාන්තය සංවර්ධනය කිරීම පිළිබඳ සිය අවධානය යොමුවී ඇති බවද පැල්වත්ත කිරී සමාගමේ ගරු සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් පවසයි. දේශිය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික ප්‍රමිතීන් ඉහළ නැංවීම  මෙහි අවසාන ඉලක්කයයි.

මෙම ක්‍රියාවලිය තුළදී සිය සමාගම මූල්‍යමය වාසි ලබාගැනීම ඉක්මවා ගිය ජාතික මෙහෙවරක් ඉටුකරමින් සිටින බව ආරියසීල වික්‍රමනායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.  කිරි ගොවීන් පුහුණු කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම හුදෙක් සිය ගනුදෙනුකාරී සංකල්පයක්  පමණක් නොවන බව අවධාරණය කරන වික්‍රමනායක මහතා සඳහන් කළේ සිය වාර්ෂික අයවැය ලේඛනය මගිින්ම ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කරන බවයි. 

පැල්වත්ත කිරි සමාගම දේශිය කිරි ගොවීන් සඳහා බුත්තල පිහිටි පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයේදී  පුහුණු කඳවුරු පවත්වනු ලබයි.  දිවයින පුරා විසිරි සිටින කිරි ගොවීන් වෙත නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් මෙම පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. මෙහි අරමුණ වන්නේ කිරි කර්මාන්තය පිළිබඳ නව දැනුමින් දේශිය කිරි ගොවියා පෝෂණය කිරීම සහ සිය දැනුම හුවමාරු කරගැනීම සඳහා කිරි ගොවීන්ට අවස්ථාවක් සැලසීමයි. මහා පරිමාණ කිරි ගොවීන් සහ කුඩා පරිමාණ කිරි ගොවීන් යන සියලු ආකාරයේ ගොවීන්  එක හා සමානව සැලකීම පැල්වත්ත කිරි සමාගමේ තවත් ව්‍යාපාර ව්‍යුහයකි. මේ යටතේ කිරි ගවයින් දෙදෙනෙකු  හෝ තිදෙනෙකු සිටින ගොවීන්ටද ගොවීන් 50කට අධික ප්‍රමාණයක ගොවිපොළක් හිමි ගොවීන්ටද මෙම පුහුණු වැඩසටහන් ආදිය සඳහා අවස්තාව පිරිනමනු ලබයි.

 මෙම පුහුණු වැඩසටහන් වලදී  ගවයින්ට උසස් තත්වයේ සාන්ද්‍රිත ආහාර ලබාදීමට හුරුකරවනු ලබයි. ඒ ඔස්සේ ඉහළ ඵලදායිතාවයෙන් යුතු කිරි අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍ය දැනුම මෙහිදී ගොවීන් වෙත සපයනු ලබයි. තවද මෙමඟින්  කිරි ගොවීන් තිරසර ව්‍යාපාර ආකෘතියක් කෙරෙහි යොමුකරවමින් ගොවීන් සහ දේශිය කිරි කර්මාන්තය සංවර්ධනය කිරීමට පැල්වත්ත කිරි සමාගම අපේක්ෂා කරයි.

මෙම සමාජ ආර්ථික මෙහෙවර ඉටුකරලීම සඳහා පැල්වත්ත කිරි සමාගම පසුගියදා නව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 4ක්   ආරම්භ කළේය. එම මධ්‍යස්ථාන හපුතලේ, අඹගස්දෝව, මහඔය සහ පදවිය යන ප්‍රදේශ වල පිහිටා තිබේ. ඒ අනුව මේවනවිට පැල්වත්ත කිරි සමාගම විසින් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 40ක් පමණ දිවයින පුරා පවත්වාගෙන යයි. මෙම මධ්‍යස්ථාන මඟින් කිසිදු අපහසුතාවයකින් හෝ බාධාවකින් තොරව නුවරඑළිය, හපුතලේ, හැටන්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, සහ උතුරු මැද ආදී ප්‍රදේශවල ගොවීන්ගෙන් කිරි එකතු කිරීම සිදුකරනු ලබයි.

Rate this item
(0 votes)