April 20, 2024

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය නිමිත්තෙන් "පීපල්ස් ගාඩියන්ස්" රක්ෂණය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ තරඟකාරී හා කාර්යක්ෂම සේවාවන් සපයමින් දේශීය සමාගම් 20ක් හා විදේශීය සමාගම් 7ක් වශයෙන් ක්‍රියාත්මක රක්ෂණ සමාගම් ගණන 27කි. ඒ අතුරින් සිය අභිමානවත් දසවන සංවත්සරය සමරණ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම අද පටන් සිය වටිනා පාරිභෝගික ගනුදෙනුකාර ජනතාවට නවතම රක්ෂණ සේවා ‍ගොන්නකින් සමන්විත 'පීපල්ස් ගාඩියන්ස්' නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කොට ජනතාවට තිළිණ කරනු ලබන බව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  දීපාල් අබේසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය දසවන සංවත්සරය අභිමානවත්ව සමරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම විසින් 'පීපල්ස් ගාඩියන්ස්' නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාවට පහසුවෙන් රක්ෂණ හිමිකමක් ලබාදීමේ අරමුණින් නව යෝජනා ක්‍රමය ආරම්භ කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අබේසේකර මහතා,

ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම හා විශාලතම මූල්‍ය සේවා සපයන සමාගම් සමූහයක් වන මහජන බැංකුව නම් දැවැන්ත සෙවණේ හැදී වැඩෙන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භ වූයේ රක්ෂණ සේවා ඉතා කුඩාවට සපයන සේවා ආයතනයක් පරිද්දෙනි. විශේෂයෙන්ම මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමාගමේ වටිනා ගනුදෙනුකාර භවතුන්ට අවැසි රක්ෂණ සේවාද එකම වහලක් යට ලබාදීමේ අරමුණින් මීට දස වසරකට පෙර ඇරැඹි පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට මිලියන 21 වන ජනගහනයෙන් මිලියන 13.2ක ගනුදෙනුකාර ප්‍රජාවක් හිමි විශාලතම මූල්‍ය සේවා සපයන මව් සමාගම සමඟ බද්ධ වී සිටීම නිසා තවදුරටත් එම සේවා පුළුල්ව ලබාදීමට ඉඩ කඩ විවර වී තිබේ.

බැංකු සේවා, ලීසිං සේවා ලබාගැනීමට මහජන බැංකු පවුල වෙත පැමිණෙන ජනතාව අතරට අවශ්‍ය රක්ෂණ සේවා විශේෂයෙන්ම සාමාන්‍ය රක්ෂණ, පුද්ගල ව්‍යාපාර රක්ෂණ, ලබාදීම මුලින් ආරම්භ කළ අප සමාගම මේ වන විට ව්‍යාපාර රක්ෂණ විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වලට අමතරව විශාල පරිමාණ ව්‍යාපාරයන්ට පවා රක්ෂණාවරණ ලබාදීමට ඉදිරිපත් වී සිටී. ගනුදෙනුකාර භවතුන්ගේ අවශ්‍යතාවයන් මත ඔවුන්ට අවශ්‍ය රැකවරණය, ව්‍යාපාරික ආරක්ෂාව සහ රක්ෂණ සැලසුම් ඉතා මනාව සැමටම වාසිදායක අයුරින් සකස් කරදීම පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ කාර්යක්ෂම කාර්ය මණ්ඩලයේ එකම පැතුම වී තිබේ. ඒ සමගම ගනුදෙනුකාර භවතුන්ගේ වටිනා කාලය ඉතිරි කිරීම උදෙසා ඉතාම ඉහළ තාක්ෂණයෙන් සහ නවීන තොරතුරු ජාල පද්ධතියකින් සමන්විතව අප කාර්ය මණ්ඩලය බලගන්වා තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් තිරසර සංවර්ධන ඉලක්ක (SDG) 17 ක් සහ වසර 2030දී ළඟා කර ගත යුතු ඉලක්ක න්‍යාය පත්‍රයක් ලොවට හඳුන්වා දී තිබේ. මෙහිදී දුප්පත්කම, විරැකියාව, ඇතිනැති පරතරය අවම, ආර්ථික අතින් ශක්තිමත් රාජ්‍යයන් බිහි කිරීමට ඉලක්ක කොට ඇත. ඒ සඳහා වන ගමනේදී ස්වභාවික විපත්, අනතුරු සහ අවදානම් වලින් පීඩාවට පත්වන ජනතාව ඉන් මුදවාගෙන වඩාත් ශක්තිමත් පුරවැසියන් ලෙස බලගැන්වීම තිරසාරව ඉලක්ක කොට ඇත. එම ඉලක්ක ජයගැනීමට ආර්ථික වශයෙන් ජනතාව සවිමත් කිරීමට රක්ෂණ සේවාවන් ගෙන් සිදුවන සේවය ඉතා විශාල බව ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව අවධාරණය කොට ඇති කරුණකි. මෙරට ජනගහනයෙන් 5%කටත් අඩු රක්ෂණ හිමිකමක් සහිත පිරිස වෙනුවට සැමට රක්ෂණයක් හිමි අවදානම් අවම වූ පරිසරයක් තුළ නොබියව නැඟී සිටීමට හැකි ශක්තිමත් ජනතාවක් සහිත රටක් බිහි කිරීම උදෙසා රක්ෂණය පෙරට ආ යුතුය. ඒ අරමුණින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම සිය සේවා දායකයින් වෙත වඩාත් තිරසාරව නැඟී සිටීමට අවශ්‍ය රැකවරණය සුරක්ෂාව ලබාදෙනුයේ ජාත්‍යන්තරයේ ශ්‍රේණිගත කිරීම් ආයතනවල පවා ඉහළ පිළිගැනීමක් ලබාගෙනය. දැනටමත් ෆිච් රේටින් ආයතනය අප ආයතනය A + රක්ෂණ සේවා සමාගමක් ලෙස නම් කොට ඇත. මේ අභිමානවත් ශ්‍රේණිගත කිරීම් ලද ආයතනය එය තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ජනතාවට රක්ෂණ සේවා සපයන්නට බලාපොරොත්තු වන්නේ 'ආදරයෙන් බලා ගන්නා' යන අපගේ තේමාව එලෙසින්ම ඉටු කරමිනි.

Rate this item
(0 votes)