April 23, 2024

රයිනෝ සමූහය නව තිරසාර සංවර්ධන මාවතක

රයිනෝ සමූහ ව්‍යාපාරය, තිරසාර සංවර්ධනය සහ දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා දක්වන කැපවීම පෙරදැරි කරගෙන සිය තිරසාර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමේ අරමුණ ඇතිව දීර්ඝ කාලීන ක්‍රමෝපායික වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.

මෙරට ජනතාවගේ ගෞරවය දිනූ, සමාජය කෙරෙහි වගකීම් සහගත සමාගමක් ලෙස රයිනෝ සමූහ ව්‍යාපාරය කවදත් තිරසාරත්වයට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. පසුගිය දශක 5 ක කාලය තුළ එම සමූහය තම ව්‍යාපාර කටයුතුවල දී සෑම විටම තිරසාර ක්‍රමවේදයන් භාවිතා කර ඇති අතර, ප්‍රජා සත්කාරයන් සඳහා ද නිරන්තරයෙන් අවධානය යොමුකර ඇත.

මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික සහ පරිසර තත්ත්වය පිළිබඳව කරන ලද දීර්ඝ පර්යේෂණ වලින් අනතුරුව සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් මෙරට පවතින අඩුපාඩු හඳුනා ගැනීම තුළින් නව තිරසාරත්ව වැඩසටහන් පෙළක් දියත් කිරීමට සමාගම කටයුතු යොදා තිබේ.

රයිනෝ සමූහය තිරසාරත්වයේ මූලික පදනම් ලෙස සලකනුයේ මානව සම්පත, නිෂ්පාදන, ප්‍රජාව සහ පෘථිවිය යන පදනම් සතර ය. මෙම පදනම් වලට මූලිකත්වය දෙමින්, 2025 වසර තෙක් විහිදෙන තිරසාරත්වයේ ගමන් මගක් සැලසුම් කිරීමට එම සමූහය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් රයිනෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂක ඊ. ජේ. ඥානම් මහතා මෙසේ පැවසීය.

“සමාජයේ විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගැනීම සහ තිරසාරත්වය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම අතින් ගත් විට රයිනෝ සමූහ ව්‍යාපාරයේ දැක්ම ඉතාම පුළුල් පරාසයක් ආවරණය කරන අතර, පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම මේ සියලු පාර්ශ්වයන්ට පෙන්වා දීම අරමුණු කරගත් දැක්මක් ලෙස එය හැඳින්වීමට පුළුවන්. මේ තිරසාරත්ව වැඩසටහන් සතර ක්‍රියාවට නැංවීම මගින් අපට සමාජ හා ආර්ථික තිරසාරත්වය නැංවීමට මෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කිරීමට පැහැදිලි දායකත්වයක් ලබාදීමට හැකිවන බව අපගේ විශ්වාසයයි. තිරසාරත්වයේ මූලික පදනම් සතර සමඟ ව්‍යාපාරික කටයුතු සමගාමී කිරීම ඔස්සේ පරිසරයට හා සමාජයට යහපතක් සිදුකරමින්, දීර්ඝ කාලීන වටිනාකම් නිර්මාණය කරමින්, රට තුළ සැබෑ පරිවර්තනයක් සිදු කිරීමට අප උත්සාහ කරනවා.”

මෙම තිරසාරත්වය ව්‍යාපෘති සතර මගින් වනාන්තර නැවත වගා කිරීම, ජලජ ජීවීන් සංරක්ෂණය කිරීම, කසළ කළමනාකරණය කිරීම සහ හරිත බලශක්ති විසඳුම් හඳුන්වා දීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වේ. මේ සම්බන්ධ සමාජ, ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ සාක්ෂාත් කරගැනීම උදෙසා දීර්ඝ කාලීනව දිවෙන වැඩසටහන් පෙළක් ලෙස ශ්‍රී ලංකාවේ මේවා ක්‍රියාවට නැංවීමට නියමිත ය.

මෙම තිරසාරත්ව වැඩසටහන් මගින් දැනට පවතින සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු විසඳීම ඉලක්ක කරගත් පැතිමානයන් කිහිපයක්ම ආවරණය කෙරේ. මේ අතරින් දැනටමත් ආරම්භ වී ඇති, වනාන්තර නැවත වගාකිරීමේ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා හඳුනාගත් ස්ථානයන්හි කුඹුක් ගස් විශාල සංඛ්‍යාවක් වගා කිරීමට රයිනෝ සමූහ ව්‍යාපාරය කටයුතු කරනු ඇති අතර, වගා කරනු ලබන ගස් ප්‍රමාණය වාර්ෂිකව දෙගුණ කෙරෙනු ඇත. රටේ වන ඝනත්වය වැඩි කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථය වේ.

ජලජ ජීවී සංරක්ෂණ ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් තර්ජනයට ලක් වී ඇති මුහුදු ජීවීන් ආරක්‍ෂා කිරීමට සහ ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැංවිමට උත්සහ කිරීමයි. එමගින් මුහුදු ජීවීන්ගේ ගහණය පිළිගත හැකි මට්ටමින් යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ ලබාදේ. මෙම වසරේ ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රයිනෝ සමූහ ව්‍යාපාරය තවත් පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සමඟ අත්වැල් බැඳගනී.

රයිනෝ, සිය කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන, පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සමඟ එක් වී, නුදුරු අනාගතයේ දී ආරම්භ කිරීමට නියමිත ය. මෙමගින් ප්‍රතිචක්‍රීකරණය සඳහා කසළ එකතු කිරීමේ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නැංවීමටත්, දිවයින පුරා කසළ නිවැරදි ලෙස බැහැර කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අධ්‍යාපනික වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කිරීමට සමාගම සැලසුම් කර ඇත.

ලබන වසරේ දී ආරම්භ වීමට නියමිත හරිත බලශක්ති ව්‍යාපෘතිය ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු පවුල් සඳහා සූර්ය බලශක්තිය පදනම් කරගත් වහල සෙවිලි කිරීම් විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියකි. ග්‍රාමීය ජනතාවගේ බලශක්ති වියදම් අවම කරමින් පුනර්ජනනීය බලශක්තිය පුළුල් කිරීමට මෙම ව්‍යාපෘතියෙන් අවධානය යොමු වේ. එය රටේ කාබන් පියසටහන අවම කිරීම මෙන්ම දරිද්‍රතා මට්ටම තුරන් කිරීමට උපකාරී වනු ඇත.

මෙම ව්‍යපෘති මගින් ජෛව විවිධත්වය සහ වනජීවී සංරක්ෂණය පමණක් නොව ප්‍රජා සංවර්ධනය සහ සමාජ ප්‍රතිලාභ ද අත්පත් කරගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කිරීම රයිනෝ සමූහ ව්‍යාපාරයේ අපේක්ෂාව වේ. මේ සඳහා ජනතාවගේ දායකත්වය අඛණ්ඩව ලැබෙන්නේ නම් මෙම ව්‍යාපෘති වඩාත් ඉක්මනින් සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති අතර එමගින් ලැබෙන ප්‍රතිලාභ ද වැඩිවනු ඇත.

1962 වසරේ දී සුළු පරිමාණයෙන් ආරම්භ වූ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම මේ වන විට රටේ ප්‍රමුඛතම වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන නිපදවන සමාගමක් බවට වර්ධනය වී තිබේ. එම සමාගම ඉහළ ප්‍රමිතියෙන් යුතු සෙවිලි තහඩු සහ අනෙකුත් නිෂ්පාදන නිපදවමින් රටේ යටිතල පහසුකම් සංවර්ධනයට වටිනා දායකත්වයක් ලබාදෙමින් සිටී.

 

Rate this item
(0 votes)